රට කරවන්න බැරි නම් දාලා යන්න….! රට ඉදිරියට ගෙන යන්න අපි සූදානම්…!

June 22, 2021 at 12:00 pm | by emanisa.lk

ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහා ම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාවට සහන දීමට, රට සංවර්ධනය කිරීමට ආණ්ඩුවට නොහැකි නම් එය සිදු කළ හැකි කණ්ඩායමකට රට බාර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“ජනතාවගේ ජන දුක නිවනවා වෙනුවට මේ ආණ්ඩුව තව තවත් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. කොරෝනා වසංගතයෙන්, පොහොර අර්බුදයෙන්, රැකියා අර්බුදයෙන්, දරුවන්ට අධ්‍යාපනය නොමැති කමින්, පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් කළා.

ජනතාවට කොවිඩ් එන්නත නැහැ, ආණ්ඩුවේ බලවතුන්ට විතරයි අද එන්නත තියෙන්නේ. අද මවුවරුන්ට මන්ද පෝෂණය, දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ, ජනතාව එදා කන්න නැතුව අන්ත අසරණ වෙලා ඉන්නවා.

ගොවියන් ධීවරයන් මධ්‍යම ප්‍රාන්තික රජයේ සේවකයාට අද ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ අය නගා සිටුවන්න මේ අයට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ජනතාවට සහන දෙන්න බැරි රට සංවර්ධනය කර ගන්න බැරි ආණ්ඩුවට අපි කියනවා බැරි නම් දාලා යන්න කියලා.

මේ රට ඉදිරියට ගෙනයාමේ වගකීම භාර ගන්න අපි සූදානම්. ජන සමාජයේ සියලුම වෘත්තිකයන් නියෝජනය කරන්න තමයි අද අපි මේ ජනතාව භාවිත කරන වාහන අරගෙන පාරට ආවේ. වැඩි කරපු ඉන්ධන මිල පහත හෙලා වහා ම ජනතාවට සහන දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අපි මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දේශ ද්‍රෝහීන් කවුද දේශප්‍රේමීන් කවුද කියලා මේ විශ්වාසභංග යෝජනාවෙන් ජනතාවට බලා ගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස