රටේ ආර්ථික මොඩලය හසුරුවන්න පුළුවන් අපට විතරයි…! ජනපතිට ඒ ගැන අවබෝධයක් නෑ…! – මුජිබර් රහුමාන්…

March 19, 2022 at 3:45 pm | by emanisa.lk

මේ රටේ ආර්ථික මොඩලය හැසිරවීමට ආණ්ඩුවට නිසි වැටහීමක් නැති නිසා විශාල ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ඒ ඊයේ (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“රටේ අසාර්ථකත්වය වහගන්න ජනාධිපතිවරයා දැන් එක එක් කෙනාට චෝදනා එල්ල කරනවා. ඔහු මේ රටේ විධායක ජනාධිපති, ඔහුට හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දුන්නා. 20 සම්මත කර ගත්තා. ඒක නිසා එවැනි බලයක් තියා ගෙන කාටවත් චෝදනා එල්ල කරන්න බැහැ. තමන්ගේ සහෝදරයෝ ටික කැබිනට් එකට දා ගත්තා. මේ වගේ අවස්ථාවක් මං හිතන්නෙ නෑ ලෝකයේ කිසිම පාලකයෙකුට ලැබිල ඇති කියලා.

කොවිඩ් වසංගතය බලපෑවේ ලංකාවට විතරක් නොවේ. ලෝකයේ හැම රටකටම බලපෑවා. අපිට වඩා දරුණුවට සමහර රටවලට ඒක බලපෑවා. නමුත් තමන්ගේ ආර්ථිකය ජනතාවට බරක් වෙන්න නොදී ඒ රටවල් නිසි පරිදි කළමනාකරණ කර ගත්තා. විදෙස් සංචිත ආරක්ෂා කර ගත්තා. ඒ වගේම විදෙස් සංචිත වැඩි කර ගත්තා. නමුත් එවැනි දේවල් අපේ රටේ පාලකයන්ට කර ගන්න බැරි වුණා.

අවුරුදු දෙකක්ම කොවිඩ් තිබුණේ ලංකාවට විතරක් නොවෙයි. ජනාධිපතිවරයා සමහර වැරදි තීන්දු ගත්තේ කොවිඩ් හින්ද ද? රාජ්‍ය ආදායම් අඩු කර ගත්තේ කොවිඩ් හින්දද? තමන්ගේ ව්‍යාපාරිකයන්ට සහන දෙන්න තමයි ඒවා කළේ. පොහොර ටික නැති කර ගත්තේ කොවිඩ් නිසාද? ඩොලර් මිලියන 6.7ක් චීනයට ගෙව්වා. පොහොර ටික ඇහැටවත් අපි දැක්කේ නැහැ. රුපියල් මිලියන 15,000ක් අහිමි කර ගත්තා සීනි වංචාවෙන්. මේවා සියල්ල කොවිඩ් හින්දා වුණා කියල කියන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස