රටේ ආර්ථික අර්බුදයට හේතුව රාජපක්ෂලා…! ඔවුන්ට තරුණයින්ගේ අනාගතය භාරදෙන්න බෑ…! – අනුර….

April 20, 2022 at 10:14 am | by emanisa.lk

රට තුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රාජපක්ෂ පවුල බවත් එම පවුලට තරුණ තරුණියන්ගේ අනාගතය භාරදිය නොහැකි බවත් ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කළේය.

හැත්තෑ හතර වසරක් තට්ටුමාරු ක්‍රමයට රට විනාශ කළ පාලනයන් වෙනුවට ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ සටන ජය ගැනීමෙන් තොරව නොනවත්වන බවද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) එම අදහස් පළ කලේ ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් එම බලවේගය විසින් සංවිධානය කළ තෙදින පාගමන අවසානයේ කොළඹ පුරහලදී පැවති ජනහමුව ආමන්ත්‍රණය කරමිනි.

පසුගිය 17 වැනිදා බේරුවල ප්‍රදේශයෙන් එම පා ගමන ඇරැඹි අතර එය ඊයේ කොළඹ පුරහල වෙත ළඟා විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

බේරුවලින් ආරම්භ කළ තෙදින පාගමන අවසානයේ අපි රාජපක්ෂ පවුලට ගෙදර යන්න කියන පණිවුඩය ලබාදී තිබෙනවා. රාජපක්ෂ පවුල කියන්නේ රටේ දරුවන්ගේ අනාගතය තරුණයන්ගේ අනාගතය කිසිසේත්ම භාරදිය හැකි පාලකයන් නෙවෙයි.

මෙම පාලකයන් රසායනික පොහොර ක්ෂණිකව තහනම් කර රටේ කෘෂිකර්මාන්තයත් ගොවි ජනතාවත් විනාශය කරා ගෙන ගියා. දැන් හීන් කෙඳිරියක් දාලා කියනවා රසායනික පොහොර තහනම් කිරීමෙන් වරදක් වුණා කියලා. දැන් ඒ වෙනුවෙන් පෙනී සිටි මහින්දානන්දලා කෝ? මේ ගොල්ලන්ට ආර්ථිකය පිළිබඳව මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ මේ ආර්ථික විනාශයට විශාල වගකීමක් දැරිය යුතු පුද්ගලයෙක්. ඔහු විශාල වශයෙන් මුදල් අච්චු ගහද්දි එහෙම කළාම උද්ධමනය වැඩි වෙනවා කියලා ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්නා. කබ්රාල් කිව්වා නෑ මේක නූතන මූල්‍ය න්‍යාය කිව්වා. කබ්රාල් මහත්තයෝ ඒකෙන් අමුඩයක් ගහගෙන විලිවහගන්න. දැන් ආර්ථිකය බිංදුවටම හිංදුවා. බඩු මිල දරන්න බැරි තරමට ඉහළ ගියා. තෙල් මිල දරන්න බැරි තරම් ඉහළ ගියා. තෙල් නැති කළා. අද මේ පොලිසියේ මහත්තුරුන්ට රාජකාරි වෙලාවේ පෙට්‍රල් ෂේඩ් මුර කරන්න වෙලා. රාජකාරියෙන් පිට වුණාට පස්සේ තෙල් ගහන්න පෝලිමේ යන්න වෙලා. රෝගීන්ට බෙහෙත් නැහැ.

රාජපක්ෂලා තමයි මේ අර්බුදයට වගකිව යුත්තේ. මේ තරම් අර්බුදයක් තිබෙද්දි බැසිල් රාජපක්ෂ අවස්ථාව ලැබුණ ගමන් පැනලා යන්න ෂැංග්‍රිලා හෝටලයට වෙලා සුරසැප විඳිනවා. අගමැති මහින්ද ජනතා මුදල්වලින් ජෙට් යානයක් අරගෙන තිරුපති වඳින්න යනවා. දරුවෝ මාලදිවයිනේ ගිහින් ජල ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ නාස්තිකාර ජීවිත අත්හැරියේ නැහැ. ජනතාව මුලින්ම ඉල්ලුවේ අපිට තෙල් දෙන්න, ගෑස් දෙන්න, කිරිපිටි දෙන්න, බඩුමිල අඩුකරලා දෙන්න කියලා විතරයි. ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට ඇමැතිවරු විහිළු කතා කියන්න ගත්තා.

ඒ නිසා ජනතාව වීදි බහින්න ගත්තා රාජපක්ෂ පවුලටත් මේ පාලකයෙන් බැහැලා යන්න කියලා. එහෙම කිව්වාම මේ හාදයා ඇවිත් ඇමැති මණ්ඩලය වෙනස් කරනවා. මේක ඇමැති මණ්ඩලයක් නෙවෙයි බඩි මණ්ඩලයක්. ඩී. වී. චානක කියන්නේ නාමල් රාජපක්ෂ වාහනයට නග්ගවන්න යන කෙනා. එහෙම අය තමයි මේ ඇමැතිකම්වලට දාලා තියෙන්නේ. මේ ජනාධිපතිට එක්කෝ සිංහල තේරෙන්නේ නැහැ. නැත්නම් කන් ඇහෙන්නේ නැහැ. ජනතාවගේ නැගිටීම මෙවැනි කුඩා කුඩා සෙප්පඩ විජ්ජා වලින් නවත්වන්න බැහැ කියලා අද ජනතාව පෙන්වා තිබෙනවා.

ගෝල් ෆේස් ආපු තරුණ තරුණියෝ දින ගණනාවක් තිස්සේ කඳවුරු බැඳගෙන මේ පාලකයන්ට බැහැලා යන්න කියනවා. රට පුරා ජනතාව වීදි බැහැලා පාරවල් වහගෙන අරගල කරනවා. මේවාට ඇහුම්කන් දෙනවා වෙනුවට දැන් මේ පාලකයෝ හමුදා අනුඛණ්ඩ ගෙනත් එක් ඛණ්ඩයක් බාරොන් ජයතිලක මාවතේ පාළු ගේක නවත්තලා. තවත් ඛණ්ඩයක් ගෙනත් තව තැනක නවත්තලා. අද ගෝඨාභයලා ජීවත් වෙන්නේ බංකරවල. අද කිසිම උත්සවයකට රාජපක්ෂ පවුලටවත් හිටපු හා ඉන්න ඇමැතිවරුන්ට එන්න බැහැ. එන්නේ නැහැ.

මේ පාලකයන් එක්රැස් කරගත් සියලු ධනය ආපහු අත්පත් කරගත හැකි, ඒ හොරුන්ට දඬුවම් දිය හැකි පාලනයක් අපි ඇති කළ යුතුයි. ජනතාවට ඇති කළ පීඩනය වෙනුවෙන් සාධාරණ වන්දියක් ඔවුන් ගෙවිය යුතුයි. අපි වසර හැත්තෑ හතර වසරක් අතට, පුටුවට, පුටුවට, අතට, අලියට, පුටුවට මාරුවෙන් මාරුවට තකට තක පාලනයන් ඇති කළා. මේක අපි නැවැත්විය යුතුයි. අපේ රටේ දරුවන්ට ඉතා හොඳින් ජීවත් විය හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් මේ සටන අපි දිගටම ගෙන යායුතුයි. ඒ වෙනුවෙන් එකතු වෙන ලෙස අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස