ශ්‍රී ලංකාවාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සහ උදාරතර ආගමික උත්සවය වන වෙසක් පුන් පොහෝ දිනය සහ වෙසක් සතිය නිමිත්තෙන් මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයම එකම ආලෝක තටාකයක් බවට පත්වෙද්දී, මෙරට උත්තරීතරම රාජ්‍ය ආයතනය ලෙස සැලකෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය මෙවර වෙසක් උත්සවය වෙනුවෙන්, එම දින කීපයම එකදු විදුලි බුබුලකින් හෝ ආලෝකමත් නොකර අඳුරේ ගිල්වා තැබීමට කටයුතු කිරීම සමස්ත බෞද්ධ ජනතාවගේ දැඩි කණගාටුවට මෙන්ම පිළිකුලට හේතු විය යුතු කරුණක් වී තිබේ.
විවිධ රාජ්‍ය උත්සව, උත්සව සංදර්ශන සහ විදේශීය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් ආලෝකකරණ කටයුතු සහ සැරසිලි සිදු කරන පසුබිමක, මෙරට ප්‍රධානතම ආගමික උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තුව මෙලෙස මළානිකව සහ අඳුරේ තබා ගැනීමට වත්මන් කතානායකවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීම බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.
මෙමඟින් පෙන්නුම් කරන්නේ බලධාරීන්ගේ ආගමික සහ සංස්කෘතික පිරිහීම මිස අන් කිසිවක් නොවන අතර, මෙම වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු බලධාරීන් රටට වහාම පිළිතුරක් දිය යුතුය.
සාමාන්‍යයෙන් සෑම වසරකම පාර්ලිමේන්තු බෞද්ධ සංගමය පෙරමුණ ගනිමින්, පාර්ලිමේන්තුව අවට වෙසක් කලාප, තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන සහ විවිධ ආගමික වැඩසටහන් ඉතා ඉහළින් සංවිධානය කළ ද, මෙවර පාර්ලිමේන්තුව තුළ එවැනි කිසිදු සක්‍රීය දායකත්වයක් හෝ සැරසිල්ලක් දැකගත නොහැකි වීම තුළ පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේද, නැතහොත් එය හුදෙක් නාමමාත්රික සංගමයක් බවට පත් කරමින් විසුරුවා හැර තිබේද යන්න විමසිය යුතුව ඇත.
රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් සිය ගණනක් සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු බෞද්ධ සංගමය රටේ ප්‍රධානතම පුණ්‍ය මහෝත්සවය යෙදී තිබූ මොහොතක මෙලෙස මුනිවත රැකීම සමස්ත බෞද්ධ සමාජයටම කරන ලද නිහඬ නිග්රහයකි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බවත් පැහැදිලිවම සඳහන් කර තිබියදී, රටේ නීති සම්පාදනය කරන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තුව තුළම බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයට මෙවැනි කුඩම්මාගේ සැලකිලි දැක්වීම පිටුපස කිසියම් සැඟවුණු හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන සැකයද සමාජය තුළ සාධාරණ ලෙස මතු වේ.
වත්මන් කතානායකවරයා ඇතුළු වත්මන් පාලකයන් බටහිර පන්නයේ “නිරාගමික” (Secular), වාමාංශික මාක්ස්වාදී හෝ ලිබරල් මතවාදයන්ට සම්පූර්ණයෙන්ම නතුවී, රටේ ඓතිහාසික, සිංහල බෞද්ධ සංස්කෘතික මුල් අමතක කර දමා පාර්ලිමේන්තුවත් නිරාගමිකයින් අතට නතු කර දී ඇත්දැයි අද වන විට ගරුතර මහා සංඝරත්නය ඇතුළු සමස්ත මහජනතාව ප්‍රශ්න කර සිටිති.
දුලාර ගුණතිලක
කැදවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව