මහ පරිමාන සහල් මෝල් හිමියන් සහල් තොග සඟවා ගෙන සිටින බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ඔවුන්ට බැංකු ණය සහ පොලී, සේවක පඩිනඩි ඇතුළු වියදම් සමග තමන්ගේ ධාරිතාවෙන් සහල් නිෂ්පාදනය නොකර සිටීමට හැකියාවක් නොමැති බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඉදිරි මහ කන්නයේ දී රජය වී මිලට ගැනීමට රු. කෝටි 500ක් වෙන් කරන අතර පෞද්ගලික අංශය ද වී මිල දී ගෙන රාජ්‍ය සැලැස්මට අනුගතව වෙළඳපොළට සහල් නිකුත් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
කිසියම් මෝල් හිමියකු ඊට අනුගත නොවන්නේ නම් එම මෝල හමුදා භාරයට ගෙන සහල් නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කරන බවට ද ජනාධිපතිවරයා අනතුරු අඟවයි.
දැනට පවතින පාලන මිලට වඩා සතයක් වැඩියෙන් ඉදිරියේදී සහල් අලෙවියට ඉඩ නොතබන බව සඳහන් කළ ජනාධිපති අනුර දිසානායක “බලමු හැප්පිලා” යැයි ද කීය.
ඊයේ (21) සිරස සටන වැඩසටහනට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.