යාපනේ කොටි නායක තිලීපන් අහිංසකයෙක් නෙමෙයි, මිනිමරු ත්‍රස්තවාදියෙක්…! – අරුණ් සිද්ධාරතන්..

September 18, 2023 at 3:58 pm | by emanisa.lk

රටවල් 33ක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කළ කොටි සංවිධානයේ යාපනය නායකයා ලෙස කටයුතු කළ තිලීපන් සැමරීම කිසිසේත් සිදුනොවිය යුතුව තිබූ නීති විරෝධී ක්‍රියාවක් බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුණ් සිද්ධාර්තන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තිලීපන් යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන ආකාරයේ අහිංසකයෙකු නොව ම්ලේච්ඡ ලෙස දෙමළ ජනයා ඝාතනයට පෞද්ගලිකවම නායකත්වය දුන් පුද්ගලයෙකු බවයි.

1983 කොටි සංවිධානයට බැඳුණු තිලීපන්ට 1985 ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පති ඝාතනය පිළිබඳ මෙන් ම 1986 ටෙලො ඊපීආර්එල්එෆ් වැනි සෙසු සංවිධානවල තරුණයින් සිය ගණනක් ම්ලේච්ඡ ලෙස ඝාතනය පිළිබඳ චෝදනා ඇතැයි ද අරුණ් සිද්ධාර්තන් අනාවරණය කරයි.

අනතුරුව ඩග්ලස් දේවානන්දගේ සොහොයුරා ඝාතනය කළ තිලීපන් 1987 මාර්තු මස යාපනය කොටි වධකාගාරයක දී එක දිනයක තරුණයින් 63 දෙනෙකු ඝාතනයට සෙල්වසාමි සෙල්වකුමාර් නම් සිය දෙවෙනියාට අණ දුන් බව ද ඔහු ප්‍රකාශ කරයි.

වඩමාරච්චි මෙහෙයුමේ දී ෂෙල් ප්‍රහාරයක් බඩට වැදී කෑමක් බීමක් ගත නොාහැකිව අසාධ්‍ය තත්ත්වයේ මිය යාමට නියමිතව සිටි තිලීපන් ඉන්දියානු හමුදාවට එරෙහිව උපවාසයක් සඳහා ප්‍රභාකරන් විසින් යොදා ගත් බවයි, අරුණ් සිද්ධාර්තන් සඳහන් කළේ.

ලෝකයේ කිසිදු රටක ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදෙන බවත් ආණ්ඩුව මෙම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව වහාම කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ සිද්ධාර්තන් වැඩි දුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් ජනතාව නීතිය අතට ගනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *