යහපාලන කාලේ විදේශ සංචිතවලට වුණ දේ මෙන්න…! රථ වාහන ලක්ෂ 25ක් රටට ගෙනැල්ලා…සෑම 05 දෙනෙකුගෙන් අයෙකුට ම වාහනයක්..!

June 10, 2023 at 2:28 pm | by emanisa.lk

2015 සහ 2020 අතර කාලය තුළ මෙරටට රථ වාහන 2,498,714ක් ආනයනය කර තිබෙන බවත්, සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු කිසියම් වාහනයක් ආනයනය කර තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එමෙන් ම, අධිකරණමය ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත භාණ්ඩ මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරනවා යැයි ද ඇමතිවරයා කීය.

“විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදාහැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරනවා. විවිධ අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට රථ වාහන 600කට අධික ප්‍රමාණයක් ඇතුළුව භාණ්ඩ රැසක් රේගුව මගින් රඳවා ගෙන තිබෙනවා.

2015 සහ 2020 අතර කාලය තුළ මෙරටට රථ වාහන 2,498,714ක් ආනයනය කර තියෙනවා. එම සංඛ්‍යාව 13%ක් වූ ළමා ජනගහනය සහ 5%ක් වූ වයස 70% වැඩි ජනගහනය ඉවත් කළ විට ඉතිරි එක්කෝටි තිස් හය ලක්ෂයක ජනගහනයෙන් බෙදූ විට සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ම එක් අයෙකු රථ වාහනයක් ආනයනය කර තියෙනවා.

රටවල් 68කින් සමාගම් 100ක් යටතේ මෙම ආනයන සිදුකර තිබෙනවා. මෙම කාලය තුළ ආනයනය කර ඇති වාහනවල වටිනාකම රුපියල් බිලියන 1331.51ක්. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 991.12ක බදු මුදලක් රජය අයකර ගෙන තියෙනවා. රථවාහන ආනයනය කිරීමේදී වන සියලු ගෙවීම් අදාළ ආනයනය සිදු කරන රටේදී ම ගෙවා දැමිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ යෝජනාවක් සකස් කරනවා. බදු ආදායම ඉහළ නැංවීම සහ විනිමය ආරක්ෂා කිරීම පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කරමින් සිටිනවා. ඊට අදාළ යෝජනාව ඇතුළත් කිරීමට සූදානම්.”

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *