පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා වර්තමාන රජය දකුණු කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු සංගමය අද (09) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේ ය.
රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබා දී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය.
මිනින්දෝරු සංගමය දින දෙකක් නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේ දී රටේ ම මිනින්දෝරු සංගමය දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකමක් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළ ද සිය සේවාව තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් ඇති නොකර ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බව ද නිලධාරීහු චෝදනා කරති.