පාර්ලිමේන්තුවේ බලය නැවත ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීම පිළිබඳ කතානායකතුමාට ස්තූතිවන්ත වන බව යුතුකම ජාතික සංවිධානායේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
කෙසේ වුව ද ඒ තුළ මෙරට පක්ෂ දේශපාලනයේ අවාසනාවන්ත ලක්ෂණ මතුවෙමින් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ වුව ද විපක්ෂ වුව ද මේ අවස්ථාවේ කළ යුත්තේ මේ රටට යම් පණිවිඩයක් ලැබෙන ආකාරයට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන යම් ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණයක් කිරීම බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
මෙතෙක් කල් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපතිවරණ සඳහා තරඟ කළ, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර බල තුලනයක් පිළිබඳ සාකච්ඡා කළ ඇතැම් පක්ෂ මේ අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය යක්ෂයකු ලෙස හුවා දක්වමින් එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ සාකච්ඡාවක් ගෙන ඒම පිළිබඳ තමන් කනගාටු වන බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් ඒ බැඳී පවතින පළාත් සභා ක්‍රමය සහ මැතිවරණයකින් පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම ඉතා ම දුෂ්කර වන සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳව ද අප තීන්දුයක් ගත යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.
ගෙවිඳු කුමාරතුංග මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුව අමතමිනි.