මේ ආණ්ඩුවේ අපිත් අසරණයි….! කැබිනට් ඇමතිලට දුක තෙරෙන්නේ නෑ….! – රාජ්‍ය ඇමැති වේදිකාවේ හඬා වැටේ….

March 30, 2021 at 7:29 am | by emanisa.lk

“අපේ ජනතාව නිරන්තරවෙන් පිඩා විදින වල් අලි ගැටළුව ගැන වනජීවි ඇමතිවරයාට කියපුහාම එයා මට කියනවා ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න එපා කියලා” යැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න පැවසිය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියේ ලක්ෂ 350 ක වියදමින් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ 16 වැව් වාන හරහා ඉදිවුන පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.

එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සංවේදී වූ රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසිය.

“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්න තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව.
අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද?

ආණමඩුව ආසනය තුළ වන අලි මිනිස් ජීවිත වනසන එක ඉහළ ගිහින්. ඒ බව විෂය භාර වනජීවි ඇමති සී.බී. රත්නායක මහතාට දැනුම් දුන්නාම ඔහු මට කියනවා ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න එපා කියලා. මට හරි ම කනගාටුවක් ඇති වුණා. මේ තරම් බරපතළ ගැටලුවක් තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ කැබිනට් එක තුළ ඉන්න එක ගැන.

අපි පත්වුණේ ජනතාව නිසා නම් ජනතාවගේ බදු මුදලින් අපිව රකිනවා නම් ඇයි අපි ජනතාවට සේවය කරන්න බැරි. මේ හේතු නිසා අපේ රජය තුළ අපි අසරණ වී සිටිනවා. හැබැයි කියන්න වුවමනායි මේ විදිහට ඉන්නේ කැබිනට් ඇමතිවරු කිප දෙනෙකු පමණයි. නමුත් ඒ කීප දෙනා ඇති මේ රජය අප්‍රසාදයට ලක් කරන්න.

පුත්තලම දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටළුව විසද ගන්න විෂය භාර ඇමතිවරයාට කතා නොකර මම කාටද කතා කරන්නේ. මේ ඇමතිවරු අපිට මේ විදිහට කතා කරනවා නම් අනිත් අයට කවර කතාද? එකයි මට දුක ඇත්තටම පුදුම කනගාටුවක් ඇති වෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ රජය තුළ සිටිම ගැන”

– ADA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *