මෙදා ජනවරම උරගා බලන්නේ ජවිපෙයි..! රට බේරා ගන්න ඕනෑ ම පරිත්‍යාගයක් කරන්න සූදානම්..!- හඳුන්නෙත්ති…

January 25, 2022 at 1:37 pm | by emanisa.lk

අන්තිම මොහොතේ හෝ “ගේමක්” ගසා ජනතාව ඇන්දිය හැකිදැයි ආණ්ඩුව සිතන බව ඉතා පැහැදිලි යැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙසේ වුවත් මෙවර ජනවරම උරගා බලන්නේ “ජාතික ජන බලවේගය” බවත් ඊට තීන්දු ගන්නේ ජනතාව බවත් ආණ්ඩුව ඒ බව තේරුම් ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ආණ්ඩුව නියෝජනය කරන අය අතීතයේ දී ජාතිය, ආගම පෙන්වා ජනතාව රැවට්ටුවා. සහරාන්ගේ බෝම්බය දඩමීමා කරගෙන එම බෝම්බයට මෛත්‍රි සහ රනිල් වගකිව යුතු යැයි කියා ජනතාව රවට්ටල මේ ආණ්ඩුව පත්කර ගත්තා. ගෝඨාභය රාජපක්‍ෂ පැමිණ රට රකීවි යැයි සිතා කතෝලික ජනතාව ඡන්දය දුන්නා. තව පැත්තකින් ඥානසාර හාමුදුරුවෝ බැටේ දුන්නා. අන්තවාදය පරද්දන්න සිංහල බෞද්ධයාගේ රටක් හදන්න ඕනෑ යැයි කියා ඇවිස්සුවා. සිංහල බෞද්ධයාත් බොක්ක රත්වෙලා ඡන්දය දුන්නා.

මුස්ලිම් ජනතාවත් බයෙන් බිරාන්ත වී බලා සිටියා. ඒ වෙලාවේ අලි සබ්‍රි ඇවිත් “අපි දිනනවා. මුස්ලිම් ජනතාවගේ ඡන්ද අඩු වුණොත් දුවනකම් ගහනවා” යැයි කිව්වා. මේ කතාවට මුස්ලිම් ගම්මානවල ජනතාව බය වුණා. මුස්ලිම් ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද අඩු වුණොත් “කන්න වෙනවා” යැයි ඒ ජනතාව සිතුවා. මේ අනුව එක ගලෙන් කුරුල්ලන් ගොඩක් මරා ගත්තා. කතෝලික ජනතාව යුක්තිය ඉෂ්ට කරගන්න ඡන්දය දුන්නා. බෞද්ධ ජනතාව දේශප්‍රේමයට දුන්නා.

දීර්ඝ කාලයක් ඒ අය දහජරා වැඩ කර මුදල් යොදවා ජයග්‍රහණය කළා. මෙවර ජනවරම උරගා බැලීමේදී අන්තිම මොහොත තීරණය කරන්නේ ඒ අය නොව අප බවට මා මෙහිදී සහතික වෙනවා. ඒ මොහොතෙ තීරණය කරන්නේ ජනතාවයි. මේ කැරකිලා යන්නේ එතැනටයි.

ඒ සඳහා පක්‍ෂ භේදයකින් තොරව ගම් මට්ටමින් ජනතාව සංවිධානය කරමු. සියලු වෙනස්කම් පසෙකින් තබා සංවිධාන කටයුතු කරනවා. වෙනස්කම් තිබෙනවා නම් වෙනස්කම් සහිතව දේශපාලනය කරන හැටි අප කියා දෙනවා. ඇතැම් විට එකඟ නොවුණත් අප එකඟ වී වැඩ කරනවා. කුමන පරිත්‍යාගයක් කර හෝ මේ රට බේරා ගන්නට අප ලෑස්තියි.

මේ හොර, දූෂිත දේශපාලනය අවසන් කර සදාචාර සම්පන්න රටක් ගොඩනැඟිය යුතුයි. “කළු ආර්ථිකය” වෙනස් කර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතුයි. නිෂ්පාදන ආර්ථිකයක් හදා එහි ප්‍රතිලාභ ජනතාවට සමානව බෙදී යන ක්‍රමයක් හැදිය යුතුයි. එමෙන්ම ජනතාව ආර්ථිකයට සම්බන්ධ කරගත යුතුයි. ඒ සඳහා වන ප්‍රතිපත්ති සාකච්ඡාවකට අපි එනවා. එය ක්‍රමය ගමෙන් පටන් ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *