මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට ඉස්ලාම් ආගමික ඇඳුම් අඳින්න අවසර…!

October 19, 2026 at 2:58 pm | by emanisa.lk

මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩසලසමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නිර්දේශ කරයි.

කල්මුණේ උතුර, මූලික රෝහලේ හෙද නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කරයි.

එහිදී මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් හයදෙනා තමන්ට නියමිත නිල ඇඳුමට අමතරව හිස් ආවරණ (හිජාබ්) මුහුණ පෙනෙනසේ ඇඳීම, දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම ඇඳීම රෝහල් බලධාරීන් විසින් වළක්වා ඇති බවට ඔවුන් විසින් පැමිණිලි කර ඇත.

කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයේදී එම කලාපයේ පිහිටි අනෙකුත් රජයේ රෝහල්වල මෙවැනි ආගමික ඇඳුම් සඳහා ඉඩ ලබාදී තිබෙන බවත් එමගින් ඇඳුම් පාලන නීති එකිනෙකට පරස්පර ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු මතුවන බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක් 2026 නොවැම්බර් 11 වැනිදාට පෙර ලබාදෙන ලෙසද කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *