මිහින්තලෙන් හමුදාව ඉවත් කළේ මගෙන් පළිගන්න..! බුද්ධි අංශ පන්සලට එන්න ඕන මගෙන් අහලා..!- විහාරාධිපති හිමි..

December 11, 2023 at 9:58 am | by emanisa.lk

විදුලි බල මණ්ඩලය හෝ ජල සම්පාදන මණ්ඩලය සැක යැයි කිවහොත් ඒවා ඉවත් කර දමන්නේ දැයි මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ප්‍රශ්න කරයි.

“මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැළවීමත් සමග ඒ පිළිබඳ මා කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුළ සිටින සියලු‍ම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කරනවා.

විදුලි බල මණ්ඩලය, ජල සම්පාදනය සැකයි කිව්වොත් ඒ සියල්ල අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද? මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. මෙය පෞද්ගලික පළිගැනීමක්.

රටේ පන්සල් පල්ලි කෝවිල් හැම එකකම මේ ආරක්ෂක අංශ සාමාජිකයන් සේවය කරනවා. ආරක්ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නෙ නැහැ. සිව්පසයෙන් දාන මාන සකස් කරන්නේ නැහැ. රජ දවසේ ඉඳලා මේ වෙහෙර විහාරවල දියුණුව සඳහා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස දායක වෙලා තිබෙනවා.

මම එදා කතා කළේ, හමුදා ස්වේච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනෙක් ගැන, නොච්චියාගම කඳවුරක අණදෙන නිලධාරියෙක් තමයි මෙහෙට ඒ දෙන්නා එවලා තියෙන්නේ. මේ සිදුවීම පෞද්ගලික පලිගැනීමක්. මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ, ධාතු මන්දිරය, අක්කර දහස් ගානක පැතිරී තිබෙන පුරාවිද්‍යා නටබුන් වල ආරක්ෂාව, පුදබිම සුද්ද පවිත්‍ර කිරීම ඇතුළු සියලු‍ දේ ආණ්ඩුව විසින් සිදු කළ යුතුයි.

විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු‍ එහෙම ගන්න නම් එතැන සංචාරක පොලීසියක් තිබෙනවා, මිහින්තලේ පොලිසිය තිබෙනවා, මැද මළුවේ පොලිස් මුර පොලක් පිහිටා තිබෙනවා ඒවායේ විස්තර තිබෙනවා.

මම තමයි මෙහි විහාරාධිපති. කවුරු හරි මෙහි එනව නම් මට දැනුම් දීල එන්නේ, මෙච්චර පිරිසක් මෙහි ඉන්නවා කියලා, මේ පොලිස් මුරපලේ සටහන්ව තිබෙනවා. පොත්වල ලියලා තියෙනවා. මේ දෙන්නට මෙතන අකටයුතු වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.

තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කළා. කවුරුත් දන්නෙ නෑ කවුද ඝාතනය කළේ කියලා. මම මේ ප්‍රකාශය කලේ ත්‍රිවිධ හමුදාවට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නෙමේ. චෝදනා කළේ මේ හමුදාවේ භටයො කොහේ කඳවුරක, කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වෙ කියලයි.

හමුදා සෙබළුන් අප සමග අරියාදුවක් නැහැ. මිහින්තලේ තිබුණු පොසොන් උත්සවයේ සියලු‍ බර කරට අරන් වැඩ කළේ මේ පිරිස්. ඒ අයට ඒ අභිමානය තිබෙනවා.”

ඊයේ 10දා මිහින්තලා රජමහා විහාරස්ථානයේ මැද මළුවේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *