ආණ්ඩුව සැලසුම් කර ඇති පරිදි මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තා ඉලක්ක සම්පූර්ණ කළහොත් ජනතාවට ඉදිරි මාස හයේ දී මීටත් වඩා වැඩි පීඩන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු පැවසුවේ ජනතාව අද රෝහලකට ගොස් එන්නතක් පවා ගැනීමට බිය වන තත්ත්වයක් නිර්මාණය කරමින් ආණ්ඩුවට ම අනන්‍ය වූ නරුම ගමන ඉදිරියට එලෙස ම ගෙන යන බව ය.
මේ වන විට කබලෙන් ළිපට ඇද වැටී ඇති ජනතාවට කෙසේ හෝ ජීවිත ගැටගසා ගැනීම හැර අනෙකුත් අවශ්‍යතා ගැන සිතීමට කිසිදු ඉඩක් පාලකයන් ඉතිරි කර නොමැති බවට ඔහු චෝදනා කළේ ය.
දෛනිකව පුද්ගලයෙකුට මාළු ග්‍රෑම් දෙසීයක් ආහාරයට ගන්න බැරි තරමට ආර්ථික පීඩනයට පත්ව ඇති ජනතාව පෝෂණ ඌනතාවන් පෙළෙන අතර බහුල ලෙස රෝගාබාධවලට ගොදුරු වුවද රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.
මෙම පාලකයන් ගෙදර යැවීමෙන් තොරව වෙනත් විකල්පයක් රටට නොමැති බව ද සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් පැවසීය.