මැති ඇමැතිලාට උඩින් යන්න මින්පසු හෙලිකොප්ටර් නෑ..!

March 26, 2022 at 10:22 am | by emanisa.lk

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බව  ද හෙතෙම සඳහන් කළේය.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස