මාලිමාණ්ඩුව එක ගල් අඟුරු වංචාවෙන් යහපාලනාණ්ඩුවේ බැඳුම්කර වංචාව පරදයි.. බාල ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව මිලියන 18000යි…!

October 10, 2026 at 4:52 pm | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ලංකාවට ගෙන්වීම සහ හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රටට රුපියල් මිලියන 17,965කට (කෝටි 1,796කට) අධික දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති එස්.එම්. මරික්කාර් පවසයි.

පසුගියදා (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම අලාභය මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් එකහමාර ගුණයකටත් වඩා වැඩි බවයි.

ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඇසුරෙන් කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ජනනය කිරීමට වැඩිපුර ගල් අඟුරු වැයවීමෙන් මිලියන 799ක පාඩුවක්ද, නඩත්තු කටයුතු සඳහා මිලියන 80.4ක්ද, අළු පාලනය සඳහා මිලියන 13.1ක්ද වැයවී ඇති බවයි.

විදුලි උත්පාදනය අඩුවීම නිසා අඛණ්ඩ විදුලිය පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට රුපියල් මිලියන 8,573ක් වැයවී ඇති බවත්, ගල් අඟුරු නැව් 25ක් පැමිණීමට තිබුණද පැමිණ ඇත්තේ නැව් 19ක් හේතුවෙන් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 5ක් සඳහා අතිරේකව රුපියල් මිලියන 2,284ක් ගෙවීමට සිදුවී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රටේ විදුලි බිල සහ තෙල් මිල ඉහළ දැමීමට සෘජුවම බලපා ඇත්තේ මෙම බාල ගල් අඟුරු මාෆියාව බවත්, ඒ හරහා සිදුවූ පාඩුව වසා ගැනීමට ආණ්ඩුව ජනතාව මත බදු බර පටවා ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මෙම මහා පරිමාණ වංචාවට එවකට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි සෘජුව වගකිව යුතු බවත්, අදාළ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස