මහ මෝල්කාරයෝ සහල් මාෆියාවක් හදයි..! රු. 85ට වී අරන් 258ට සහල් විකුණති…! ශුද්ධ ලාභය රු. බිලියන 77යි…!

February 18, 2022 at 4:57 pm | by emanisa.lk

මගේ මිත්‍ර සිවිල් ඉංජිනේරුවරයෙක් පසුගිය දා මා හමුවීමට ආවේය. ඔහු සිය වෘත්තියට අමතරව සහල් නිෂ්පාදනය පිළිබඳ විශේෂඥයෙකි. එහි ප්‍රායෝගික දත්ත මැනැවින් දන්නා අයෙකි.

ඔහු කුඹුරේ වී අස්වැන්න නෙළූ තැන සිට වෙළෙඳසැලේ සහල් විකිණීම දක්වා වූ විවිධ වියදම් මා හට පෙන්නා දුන්නේය.
එනම්;
– බොල් වී ඉවත් කර වී වියලා ගැනීම
– ප්‍රවාහනය
– වී මෝලට වැයවන විවිධ වියදම්
– සියළු යන්ත්‍ර සූත්‍රවල ක්ෂය වීම්
– ප්‍රාග්ධන වියදම්
– වෙනත් විවිධ වියදම්
– මෝල් හිමිගේ ලාභය
– අලෙවිකරුගේ ලාභය
ආදිය ලෙසය.

ඔහුට අනුව සහල් කිලෝවක් රු. 100 ක් වේ නම් එහි අඩංගු පරිවර්තනයට සුදුසු වී වල ආසන්න වටිනාකම රු. 63 කි. මෝල් හිමිගේ ලාභය රු. 05 ක් හා අලෙවිකරුගේ ලාභය රු. 03 ක් ලෙස ගෙන ඇත. තවත් රු. 02 ක් විවිධ වියදම් වේ. ඉතිරි වියදම් ප්‍රවාහන යන්ත්‍රවල නඩත්තු හා ක්ෂය වීම්, ප්‍රාග්ධන වියදම්, සේවක හා වෙනත් වියදම් ද වේ.

මේ සූත්‍රය අනුව වී කිලෝවක් රු. 100 කට ගොවි බිමෙන් මිල දී ගතහොත් වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාට එය රු. 207 කට මිල දී ගත හැක.

වී කිලෝව රු. 85 ට ගතහොත් හාල් කිලෝව රු. 172 ක් වේ. වී කිලෝව රු. 95 ට ගතහොත් හාල් කිලෝව රු. 196 ක් වන අතර, වී කිලෝව රු. 125 ට ගතහොත් හාල් කිලෝව රු. 258 ක් වේ. මේ අනුව, බැලු බැල්මට හාල් මිල ගණන් සාධාරණ බව මට හැඟේ. මන්ද ඇතැම් වී වර්ග මෝල් හිමියන් විසින් රු. 125 ට ගන්නා බව වර්තමානයේ වාර්තා වී ඇති නිසාය.

කෙසේ නමුත් මගේ මිතුරා සහල් හා වී වෙළෙඳපොල, එහි යටිපෙළ ක්‍රියාකාරිත්වය හා ඉහළ ගණයේ වෙළෙන්දන්ගේ ගබඩා පහසුකම ආදිය ගැන හොඳින් දන්නා අයෙකි.

ඔහු කියන්නේ, ඉහළ ගබඩා පහසුකම් ඇති විශාල මෝල් හිමියන්, අස්වනු හොඳින් නෙලාගන්නා විට සිය ගබඩා ධාරිතාවෙන් අති විශාල ප්‍රතිශතයක් (90%) අඩු මිලට මිලදී ගනිති. අස්වනු නෙලා කලක් ගත වී, වී හිඟවූ විට සුළු ප්‍රතිශතයක් වැඩි මිලට ගනිති. නමුත් ඔවුන් සහල් විකුණන්නේ අවසානයට ගත් වී මිල පෙන්වමිනි. එයින් ඔවුහු අධික ලාභයක් ලබති. කෙසේ වෙතත් කුඩා මෝල් හිමියන්ගේ ගබඩා කුඩා නිසාත්, ප්‍රාග්ධනය කුඩා නිසාත්, ඔවුනට මේ සෙල්ලම සිදු කළ නොහැක.

උදාහරණයක් ලෙස වී ටොන් ලක්ෂයක් ගබඩා කරගත හැකි මහා පරිමාණ මෝල් හිමියෙක් රු. 85 බැගින් වී ටොන් 90,000 ක් ගනී. ඉතිරි ටොන් 10,000 රු. 125 බැගින් අවසානයට මිල දී ගනී.

රු. 85 ට ගත් වී වල, සහල් මිල වන්නේ රු. 172 ක් වුවත්, එම සහල් විකුණන්නේ, රු. 125 ට ගත්, වී වල සහල් මිල වූ රු. 258 ටය. එනම් සහල් කිලෝවකින් රු. 86 ක ලාභයක් ඇත. ඉතින් ටොන් 90,000 කට එය රු. බිලියන 7.7 කි. එනම් කෝටි 770 කි!!
ටොන් දශලක්ෂයක ගබඩා පහසුකම් තිබිණි නම් අතිරේක ලාභය බිලියන 77 කි.

ලංකාව තුළ ඇත්තටම සිදුවෙමින් පවතින්නේ මේ ක්‍රියාවලිය නම් සහල් මාෆියාවක් ඇති බව හා එය ආණ්ඩුවේ සහායයෙන් පවත්වාගෙන යන බව තිත්ත ඇත්තකි.

පාඨලී චම්පික රණවක..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස