මහින්ද සමයේ ගුවන් සේවිකාවක් ජනපති මැදුරේ… ලබා දුන් ඉහළ වැටුප් දීමනා ගැන විමර්ශන…!

July 29, 2025 at 3:12 pm | by emanisa.lk

ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාල සීමාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බඳවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේය.

ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත.

එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා නිර්දේශ අනුමත කළ නිලධාරීන්ගේ තොරතුරු 2015 කාලයේ බල පෙරලියට ප්‍රථම අතුරුදන්ව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉහත ඉන්ධන සහ ප්‍රවාහන දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හි පළමු පන්තියේ මාණ්ඩලික නිලධාරීන් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙවැනි චක්‍රලේඛයකින් ආවරණය නොවන බවත් පැවසේ.

Lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *