රටේ ඇති වී ඇති අවාසනාවන්ත තත්වයට පිළියමක් ලෙස ජනතාවට කඩිනමින් සහන ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම තව දුරටත් ප්‍රමාද වීමෙන් මතුවිය හැකි ජනතා විරෝධය විපක්ෂය පටු බලලෝභී අවස්ථාවාදී අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදා ගනු ඇති බවත් එමගින් රට ලේ විලක් බවට පත්වීමට ඉඩ ඇති බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දුන්නේය.
දිනෙන් දින ඉහළ යන බඩු මිල ඩීසල් හා කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම,පෝලිම් යුගයක් ඇතිවීම පැය දොළහකට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීම යනාදී හේතු නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තදබල තරහක් මෙන්ම විශාල කලකිරීමක් ඇතිවූ බව සඳහන් කරන ජගත් කුමාර, ඇතැම් මැති ඇමැතිවරුන් කළ සමහර ප්‍රකාශ ද ජනතාව කුපිත කිරීමට හේතුවූ බව සඳහන් කළේය.
එසේම ගොවි ජනතාවට ඔවුන්ට අවශ්‍ය පරිදි නැවත රසායනික පොහොර ලබා දීමට කටයුතු කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය. තවද රටේ ජනතාවට රටේ පවතින සැබෑ තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීම වැදගත් බවත් සත්‍ය තොරතුරු පවසා රට ගොඩනැගීමට සෑම දෙනාගේම සහාය ඉල්ලීම ආත්ම අභිමානයට හානියක් නොවන්නේ යැයි තමාගේ හැඟීම බවත් මන්ත්‍රීවරයා සිය ලිපිය පැවසුවේය.
එසේ කළ නොහැකි නම් රටත් ජනතාවත් අපහසුතාවට පත් නොකර විපක්ෂයට ආණ්ඩුව කරගෙන යෑමට අවස්ථාව සලසාදීම හෝ ආණ්ඩුව විසුරුවීමට කටයුතු කිරීම වඩා නුවණට හුරු ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
එසේ නොකළහොත් ජනතාව රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්විය නොහැකි බව සඳහන් කරන මන්ත්‍රීවරයා එලෙස ක්‍රියාත්මකවන පිරිස් මර්දනය කිරීමෙන් රට යුධ පිටියක් හෝ ලේ විලක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මහජන නියෝජිතයන් විශාල වරප්‍රසාද ලබන සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිසක් බවට ජනතාව තුළ මතයක් ගොඩනැගී ඇති බවත් ජනතාව සමස්ත මහජන නියෝජිතයින්ට එරෙහිව නැගී සිටීමට එය ද ප්‍රධාන හේතුවක් බවත් හෙතෙම පැවැසීය.
මැති ඇමැතිවරු එසේ වරප්‍රසාද භුක්ති විඳින්නේ නම් ඒ වරප්‍රසාද සීමා කිරීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් කීවේය.