මන්ත්‍රීවරුන් 20ක් නැතිව පාර්ලිමේන්තුව කල්තැබේ…! රුපියල් කෝටියක මහජන මුදල් බේරේ වැවට..!

December 11, 2023 at 8:55 am | by emanisa.lk

එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) විවාදයට ගෙන සම්මත කර ගැනීමට සැලසුම් කර තිබුණ ද පාර්ලිමේන්තු ගණපූරණය නොමැති නිසා එය අද (11) දිනයට කල් තැබීමට සිදු විය.

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් 225 දෙනෙක් සිටින අතර ගණපූරණය සඳහා අවශ්‍ය වන්නේ නියෝජිතයින් 20ක් වන අතර එම විවාදය කැඳ වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 10කට ආසන්න ප්‍රමාණයකි.

එක් දිනයක් පාර්ලිමේන්තුව කැඳවීමට රුපියල් කෝටියක පමණ මුදලක් වැය වන අතර ඒ සඳහා ඊයේ වැය කළ මුදල සම්පූර්ණයෙන් ම අපතේ ගොස් තිබේ. වැට් බදු සංශෝධන විවාදයට මන්ත්‍රීවරු නොසිටිය ද පාර්ලිමේන්තුවට පැමිණි බවට 90කට අධික මන්ත්‍රී පිරිසක් අත්සන් කොට තිබේ.

දිවා භෝජනය අවස්ථාවේ පාර්ලිමේන්තු ආපනශාලාවේ ද මෙම පිරිස රැඳී සිට ඇති අතර විවාදයට සහභාගී නොවූව ද අත්සන යොදා පැමිණීම තහවුරු කළ මන්ත්‍රී පිරිසට එදිනට අදාළ පැමිණීමේ දීමනාව ද හිමි වනු ඇත.

මන්ත්‍රී ආහාර, ඉන්ධන, ප්‍රවාහන දීමනා, දීමනා, විදුලිය, ආරක්ෂාව, පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ වියදම් ආදී වියදම් සියල්ල සඳහා මෙරට ජනතාව බදු ගෙවන පසුබිමක එම ජනතාවගේ නියෝජිතයින් සිය වගකීම මැනවින් ඉටු නොකරන බවට ඊයේ සිදුවීම කදිම නිදසුනක් බව විශ්ලේෂකයින්ගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *