මට මෙහෙම කරන්නේ කොටි පරදන්න හමුදාව එක්ක සටන් කළ නිසා ද…? – පිල්ලෙයාන්….

April 16, 2025 at 12:10 pm | by emanisa.lk

තමන්ට මේ ආකාරයට සලකන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දිවි පරදුවට තබා හමුදාව සමග එකතු වී සටන් කළ නිසා දැයි පිල්ලෙයාන් තමාගෙන් හැඟුම්බරව ප්‍රශ්න කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එදා කොටින්ට සහයෝගය දුන් අය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ද දැවැන්ත ව්‍යාපාරිකයන් ලෙස ද NGOකරුවන් ලෙස ද විදෙස් රටවල සිට අදටත් ඊළම වෙනුවෙන් සටන් කරන බව ද ඔවුන්ට ආණ්ඩුවෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ද පිල්ලෙයාන් එහි දී ප්‍රකාශ කොට ඇත.

මෙයට පෙර යහපාලන ආණ්ඩුව සමයේ තමන් අවුරුදු 5ක් රැඳවුම් නියෝග මත රඳවා තබා අවසානයේ නඩුව පවත්වා ගෙන යෑමට සාක්ෂි නැතැයි අධිකරණය විසින්ම නිදහස් කළ බව ද ඔහු පෙන්වා දී ඇත.

දින 90ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින පිල්ලෙයාන් බැලීමට ඔහුගේ නීතීඥයා ලෙස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ගම්මන්පිලට මේ බව පවසා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ පිල්ලෙයාන්ට සිය පවුලේ ඥාතීන් සහ නීතීඥයා හමු වීමට එතෙක් අනීතික ලෙස අවසර ලබා දී නොතිබුණු බව ද උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

එසේම ලොව ඕනෑම රටක සිය සේවාලාභියාට නීතීඥයකු සමග පෞද්ගලිකව කතා කිරීමට අවස්ථාව හිමි වුව ද පිල්ලෙයාන්ට එම අවස්ථාව අහිමි කර තිබූ බවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු එම අවස්ථාවේ අදාළ සාකච්ඡාවට සවන් දුන් බවත් ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *