මට නලින්වාදියෙක් වෙන්න තරම් බුද්ධියක් තිබුණේ නෑ…! – මහාචාර්ය නිර්මාල් දේවසිරි…

May 6, 2024 at 9:54 am | by emanisa.lk

මා නලින් ද සිල්වා මුලින්ම දුටුවේ 1984 ඔක්තෝබර් මාසයේ අග කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට පැමිණි මුල් දිනයේ දීමය. ඒ අප වෙනුවෙන් නව කලාගාරයේ පැවැති පිළිගැනීමේ උත්සවයේ දී ය. ඔහු ගේ කතාව සදහා ඔහු හදුන්වා දෙනු ලැබුවේ (මගේ මතකය නිවැරදි නම්) “ගණිත මාමා“ යනුවෙන් විරුදාවලිය ලත් ආචාර්ය නලින් ද සිල්වා යනුවෙනි. ඔහුගේ නමේ මට යම් හුරු පුරුදු බවක් තිබුණි. ඔහුගේ කතාව මට බෙහෙවින් ආකර්ශනශීලී විය. ඔහු කතාව පටන් ගත්තේ “වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ප්‍රජාතන්ත්‍රවාදය මෙන් බාල්දු වී ඇත“ වැනි අදහසක් ප්‍රකාශ කරමිනි. එය මට බෙහෙවින් ආකර්ශනීය විය. මගේ සිත බෙහෙවින් ඇදී ගියේ ඔහුගේ කතා ශෛලියටයි. ඒ කතා ශෛලිය තුළ සිය කතිකත්වයට වඩා ප්‍රකාශකරන දේ නිරවුල්ව සන්නිවේදනය කිරීම සදහා වූ කැපවීම දක්නට ලැබුණි. සාර්ථක වූවා හෝ නොවූවා එතැන් පටන් මම ද මේ කතා ශෛලිය අනුකරණය කිරීමට උත්සාහ කළ බව කිව යුතුය.

එතැන් සිට මා ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ අදහස් වෙත නිරාවරණය වීම සිදුවිය. මුලින්ම එවකට දිවයින පුවත්පතේ ඔහු සහ නිවුටන් ගුණසිංහ අතර පැවැති වාදය හරහාය. මේ වාදය පිළිබදව වරක් සමාජ විද්‍යාව පිළිබද දේශනයේ දී කතිකාචාර්ය අයි වී එදිරිසිංහ අපට හැදින්වීමක් කළේය. එහි දී ඔහු මූලික වශයෙන්ම සාකච්ඡා කලේ චූල සම්ප්‍රදාය හා මහා සම්ප්‍රදාය පිළිබද අදහස් හුවමාරුව පිළිබදවයි. ඒ වන විට ගුණදාස අමරසේකර අබුද්දස්ස යුගයක් හා අනගාරික ධර්මපාල මාක්ස්වාදීද යන කෘතීන්හි ඉදිරිපත් කළ අදහස් ගැන මට යම් අවබෝධයක් තිබුණි. ඒ උසස් පෙළ පංතියේ දී ඒ කෘතීන් දෙක තරමක් කියවා තිබූ නිසාය. ඒ කෘතීන් හී එන “ලංකාවේ මාක්ස්වාදීන් සංස්කෘතිය අමතක කළේය“ යන අදහස මට බෙහෙවින් ආකර්ශනීය විය. මා විශ්වවිද්‍යාලයට පැමිණියේ ජවිපෙ පංති පහටද සහභාගී වී, අමරසේකරගේ මාක්ස්වාදය පිළිබද විවේචනයටත් ආකර්ශනයක් ඇතිවයි. ඊට අමතරව මා වෙත යම් මට්ටමක සිංහල ජාතිකවාදී නැඹුරුවක් ද විය. (1983 ජූලි සිදුවීම් වලට මගේ සම්බන්ධය අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.) මම වේල්ස් කුමාර විද්‍යාලයේ තිස්ස ගුණවර්ධනගේ ප්‍රබල අනුගාමිකයෙකු නොවුනද යම් දේශප්‍රේමී නැඹුරුවක් මා තුළ තිබුණි. විනොදය පිණිස දෙමළ කඩය කැඩීමට සම්බන්ධ වුව ද මගේ එහෙමට දෙමළ විරෝධයක් තිබුණේ නැත. එහෙත් රට බෙදීමේ ව්‍යාපාරයට විරෝධයක් තිබුණි. දෙමළ කඩය කැඩීමෙන් දින කීපයකට පසු අපගේ සුපුරුදු තිප්පොලක් වූ පානදුරේ බෞද්ධාරාමය නමැති කුඩා පංසලේදී අපේ පංතියේ කීප දෙනෙක් මේ දෙමළ කඩයට ගැසීමේ සිද්ධිය ගැන යම් පසු විපරමක යෙදිණි. මගේ අදහස වූයේ දෙමළ ජනයා රට බෙදීමේ ව්‍යාපාරයක නියැලී සිටින බැවින් මේ තත්වය නොවැලැක්විය හැකි ප්‍රතිචාරයක් වූ බවයි. සෙසු අයද ඊට පක්ෂ විය.

ඒ 1983 ජූලි මාසයේ ය. මා විශ්වවිද්‍යාලයට පැමිණියේ ඉන් අවුරුද්දක් හා මාස තුනකට පමණ පසුවයි. 1983 ජූලි මාසයේම ජවිපෙ තහනම් කරනු ලැබීම නිසා ජවිපෙ සමග මගේ සම්බන්ධතා ද නැවතුණි. ඒ නිසා විශ්වවිද්‍යාලයට ගියේ ජවිපෙ දේශපාලන සම්බන්ධතා නොමැතිවයි. ශිෂ්‍ය දේශපාලනය මා ගැට ගැසූ ආරම්භක පුරුක වූයේ අපේ පාසැලේ මට වඩා වසරක් ජ්‍යෙෂ්ට අභාවප්‍රාප්ත අජිත් සේරසුන්දර විය. කෙසේ වෙතත් තීරණාත්මක සිදුවීම වූයේ හැවුලොක් පාරේ නේවාසිකාගාරයෙදී ජ්‍යෙෂ්ට සිසුන් විසින් නවකවදය සඳහා රැගෙන ගොස් තිබියදී අහම්බෙන් දයා පතිරණ මුණ ගැනීමයි. දයා පතිරණද අප සඳහා වූ පිළිගැනීමේ රැස්වීමේදී කතා කළ බවත්, මට ඔහු කෙරේ ද ආකර්ශනයක් ඇති වූ බවත් මතකය. ඔහුගේ ස්ථිරසාර අදහස් දැක්වීමේ ශෛලිය මා තුළ ආකර්ශනයක් ඇති කළේය. එසේම ඔහු මරා දැමෙන තෙක්ම බලපැවැත්වූ පංති තහනමට මුල් වූ, අපගේ ඉංග්‍රීසි පාඨමාලාව පැවැති ආවරණය කෙරුණු ශාලාවට බලෙන් ඇතුලු වී පරිපාලනය අපට පිරවීමට ලබා දී තිබූ සිසු විනයට අදාළ පත්‍රිකාවක් අපෙන් ලබාගෙන අපට කළ අදහස් දැක්වීමද මට ආකර්ශනීය විය.

අදාළ හමුවෙදී ඔහු මගෙන් විමසූවේ උතුරේ ප්‍රශ්නය ගැන කුමක් සිතන්නේද යන්නයි. මා කීවේ මා රට බෙදීමට විරුද්ධ බවත් සටන් කළ යුත්තේ සමාජවාදය උදෙසා බවත්ය. ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ එය ජේවීපී මතය බවත්, පීඩිත ජාතියේ ජාතිවාදය පීඩක ජාතිවාදයට වෙනස්ව ප්‍රගතිශීලී බවත්ය. කුමක් හෝ හේතුවක් නිසා මේ ප්‍රකාශය මට තදින් සිතට කා වැදුණි. එසැනින්ම මා ඒ මතය පිළිගත් බව මතකය. එතැන් සිට මේ දක්වා දෙමළ ප්‍රශ්නය පිළිබද මගේ නැඹුරුව වෙනස් වූයේ නැත.
දෙමළ ප්‍රශ්නය සම්බන්ධ තත්වය එසේ වුව ද නලින් ද සිල්වාගේ සහ අමරසේකරගේ අදහස් කෙරේ පැවැති ආකර්ශනය නොනැසී පැවතුණි. දෙමළ ඉල්ලීම් පිළිබඳව නලින් ද සිල්වාගේ පවා තවමත් මෘදු සහයෝගයක් පැවැති නිසා මට තවම දෙමළ ප්‍රශ්නය ගැන මගේ නව ස්ථාවරය නලින් ද සිල්වා ගේ අදහස් වෙත නැඹුරු වීමට බාධාවක් වූයේ නැත.

ගවේෂකයෝ සංවිධානය මගින් විද්‍යා පීඨයේ පැවැත්වූ සාකච්ඡාවලට ද මම සහභාගී වූයෙමි. නමුත් ඒවායේ දී ඉදිරිපත් වූ අදහස් මට බෙහෙවින් දුරවබෝධ විය. වාස්තවික යථාර්ථය යනුවෙන් දෙයක් නොපවතී යන අදහස සම්බන්ධයෙන් මට යම් ආකර්ශනයක් තිබුණි. නන්දා මාලනීගේ පවන පිළිබදව පැවැති සම්මන්ත්‍රණයේ දී නලින් ද සිල්වා හා පියසීලී විජේගුණසිංහ අතර පැවැති පුරාවෘත්තමය අභිමුඛ වීමේදී ද මගේ වැඩි ආකර්ශනය පැවැතියේ නලින් ද සිල්වාගේ අදහස වෙතටයි. එහෙත් එවැනි බැරෑරුම් ඥානවිභාගාත්මක මාතෘකා වෙත යොමුවීමට තරම් මා බුද්ධිමය වශයෙන් මුහුකුරු ගොස් නැති බව මට බෙහෙවින් ඒත්තු ගොස් තුබුණි. මට වැදගත් වූයේ එවැනි සංකීර්ණ ඥානවිභාගාත්මක ප්‍රශ්න නොව ආසන්න හා වඩාත් මගේ බුද්ධි මට්ටම මගින් හැසිරවිය හැකිව තිබූ දේශපාලන ප්‍රශ්නය. දෙමළ ප්‍රශ්නය එවැන්නකි.

මට වඩා බෙහෙවින් ඉහළ බුද්ධිමය ධාරිතාවක් තිබූ දයා පතිරණ පවා වැඩි උනන්දුවක් දැක්වූයේ දාර්ශනික හා ඥානවිභාගාත්මක ප්‍රශ්න පිළිබදව නොව, දේශපාලන ප්‍රශ්න පිළිබදවයි. දෙමළ ප්‍රශ්නය ගැන විජේවීරගේ කෘතිය නිකුත් වූ විය දයා පතිරණ ඒ ගැන බෙහෙවින් උනන්දු විය. ලෙනින් ස්ව්‍යං නීර්ණනය පිළිබද ප්‍රවාදය අත්හැරියේය යන විජේවීරගේ අදහස ගැන දයා පතිරණගේ බෙහෙවින් කොප වී සිටියේය. ඔහු හමුවන සෑම කෙනෙක් සමඟම ඒ ගැන පැටලිණි. වරක් මේ ගැන නලින් ද සිල්වා සමඟ සාකච්ඡා කිරීමට යමු යැයි ඔහු මට ක්ෂණිකව යෝජනා කළේය. අපි දෙනෙනා ගණිත අංශයේ නලින් ද සිල්වාගේ කාමරයට ගිය මුත් ඔහු සිටියේ නැත. ආපසු හැරී එන විට අපිට ගෙවිඳු මුණ ගැසිණි. දයා පතිරණ නලින් ගෙන් ඇසීමට සූදානම් කරගෙන සිටි ප්‍රශ්නය ගෙවිඳුගෙන් ඇසීය. ප්‍රශ්නය මෙයයි. “ලෙනින් ස්ව්‍යං නීර්ණන අයිතිය පිළිබද ප්‍රවාදය අත්හැරි බවට වන විජේවීරගේ කියාපෑම ගැන මොකද කියන්නෙ?“ ගෙවිඳුගේ ඍජු පිළිතුර වූයේ එය තමන්ට අදාළ නොවන බවත්, තමන් මේ ප්‍රශ්නය දකින්නේ ඒ ආකාරයට නොවන බවත්ය. දයා පතිරණ සමඟ නොකීව ද ගෙවිඳුගේ පිළිතුර මට ඒත්තු යන සුළු එකක් විය.

කෙසේ වුවත් නලින් ද සිල්වාගේ මැදිහත්වීමේ කේන්ද්‍රය වූ ඥානවිභාගාත්මක මාතෘකා කෙරේ යොමු වීමට මගේ තිබූ බුද්ධිමය නොහැකියාව නලින් ද සිල්වාගේ අදහස් කෙරේ වූ පක්ෂපාතිත්වය වර්ධනය නොවීමට හේතු වූ බව කිව හැකිය. නලින් ද සිල්වා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැක්වූ මෘදු පක්ෂපාතිත්තවය ද ඉක්මනින්ම අත හැර දමනු ලැබූ බැවින් මගේ දේශපාලන පරිකල්පනයෙන් ඔහු ක්‍රමයෙන් දුරස් විය. එසේ වුව ද ඔහු සම්බන්ධ මගේ ආකර්ශනය නොනැසී පැවැතුණි. ඉන් වසර කීපයකට පසු, 1990 දී ඔහු මුණ ගැසුණු විටෙක මා ඔහුට ප්‍රකාශ කළේ ඔහුගේ අදහස්වල දාර්ශනික පැත්ත ගැන මගේ ආකර්ශනයක් ඇති නමුත් දෙමළ ප්‍රශ්නය ගැන මතය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රෙව්ශය සමඟ මට එකඟ විය නොහැකි බවයි. එසේ කී විය ඔහුට සුපුරුදු පරිදි කේන්ති ගොස් මට බැන වැදීම ආරම්භ කෙරුණු බැවින් මම එතැනින් ඉවත් වී ආවෙමි.

උවිඳු කුරුකුලසූරිය කියා තිබූ පරිදි මට විශ්වවිද්‍යාලයට පැමිණෙන් විට තර්ක ශාස්ත්‍රය ගැන අවබෝධයක් තිබුණේම නැත (තාමත් නැත). ඒ නිසා උවිඳු කියා තිබුනේ මේ නොදැනුම නිසා මා වැන්නන්ට නලින් ද සිල්වාගේ අදහස් “මැජික්“ වූ බවකි. එහි ද ඇත්තක් තිබේ. එසේ වුවත් ගණිතය, තර්ක ශාස්ත්‍රය, දර්ශනය වැනි මාතෘකා ගැන උනන්දු වීමට තරම් බුද්ධි මට්ටමක් තිබුණා නම් අනිවාර්යෙන්ම මා නලින් ද සිල්වාගේ අනුගාමිකයෙක් වීමට බොහෝ ඉඩ තිබුණි. මගේ සම වයසේ සිටි, බුද්ධි මට්ටමෙන් ඉහළ පිරිස්වල එකළ වැඩි නැඹුරුව තිබුනේ නලින් ද සිල්වාගේ අදහස් වෙත යොමු වීමටයි. චම්පික රණවක ගේ ස්ව්‍යං ලිඛිත චරිතාපදානය කියවීමෙන් මේ බව අබබෝධ කරගත හැකිය. පාසැල් කාලයේ සිට මට දේශපාලනය ගැන උනන්දුවක් තිබුණ ද ඒ උනන්දුවට සරිලන මට්ටමේ ඉහළ බුද්ධිමය ශඛ්‍යතාවයක් තිබුනේ නැත. මා උසස් පෙළ සමත් වීම සිදු වූයේ මට රචනා ලිවීමට සාමාන්‍ය මට්ටමේ දක්ෂතාවක් තිබූ නිසා විය හැකිය. මගේ ලඟම මිතුරා බුද්ධිමය ධාරිතාවය අතින් මට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක සිටිය ද උසස් පෙළ අසමත් විය.

කෙසේ වෙතත් මගේ බුද්ධිමය ධාරිතාවයේ පහළ මට්ටම ගැන මට පසු තැවීමක් නොමැත්තේ ඉහළ බුද්ධිමය ධාරිතාවයක් නොතිබුණා නම් බොහෝ විට මා නලින් ද සිල්වාගේ අනුගාමිකයෙක් වීමේ වැඩි හැකියාවක් තිබූ නිසාය. 1980 ගණන්වලට පෙර කාලයේ ඉහළ බුද්ධිමය ධාරිතාවයක් සහිත සමාජ දේශපාලන උනන්දුවක් සහිත තරුණ පිරිස්වලට ආකර්ශනීය වූ බුද්ධිමය කතිකාව වූයේ මාක්ස්වාදයයි. මා විශ්වවිද්‍යාලයට පැමිණෙන විට ඒ ආකර්ශනය අඩු වී තිබුණි. මා අයත් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඉහළ බුද්ධිමය ධාරිතාවයක් සහිත කීප දෙනෙක්ම සිටි නමුත් තීව්‍ර බුද්ධිමය ක්‍රියාකාරකම් හී නිරත වීමේ හැකියාව තිබුනේ තිසරණී ගුණසේකර සී. ඒ. චන්ද්‍රප්‍රේම සහ තවත් කීප දෙනෙකුට පමණි. මා වැනි අයට යම් බුද්ධිමය උනන්දුවක් තිබුණ ද ඉංග්‍රීසි දැනුම හා පොතපත කියවීමේ ශික්ෂණය පැවැතියේ අඩුවෙනි. නමුත් නලින් ද සිල්වා වෙත ආකර්ශනය වූ සිසුන් මූලික වශයෙන් යොමු වී සිටියේ තීව්‍ර බුද්ධිමය ක්‍රියාකාරකම් වෙතටයි. ගවේෂකයෝ සංවිධානයේ සාකච්ඡා මා වැන්නෙකුට බලා සිටීම හැර අන් ආකාරයකින් ලඟා වීමට නොහැකි තරම් ඉහළ මට්ටමක තිබුණි. නමුත් නලින් ද සිල්වාගේ අනුගාමිකයින් වූ ගෙවිදු කුමාරතුංග, චමිපික රණවක වැන්නන් සමඟ නිරන්තර වාද විවාදවලට පැටලීමට අවස්ථාව ලැබීම මගින් මේ බුද්ධිමය ලෝකයට පිවිසීමට අවසර පතක් මට ද ලැබිණි. ඒ අතින් එකල ඔහු අදහස් දැක්වූ රැස්වීම් බොහොමයක ප්‍රධාන දුෂ්ට චරිතය රඟ දැක්වීමට අවස්ථාව ලැබීම මට ලැබුණු වරප්‍රසාදයක් විය. එවැනි රැස්වීම්වලින් ඉක්බිතිව ඔහුගේ අනුගාමිකයින් විසින් වටලනු ලැබ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට සිදුවීම එකල නිරන්තර අත්දැකීමක් විය.

මා වර්තමානයේ සිට ආපසු හැරී බලන විට සතුටු වෙන දෙයක් තිබේ. ඒ ඔහුගේ අනුරාගී අනුගාමිකයෙක් නොවී අනුරාගී ප්‍රතිවාදියෙක් වීමට අවස්ථාව ලැබීම වඩා ඉහළ වරප්‍රසාදයක් වූ බවයි. එය මගේ බුද්ධිමය උනන්දුව වර්ධනය කරගැනීමට බෙහෙවින් ඉවහල් විය. මා එකළ බුද්ධිමය වශයෙන් වඩා ඇසුරු කළේ නිව්ටන් ගුණසිංහ, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, සුනිල් විජේසිරිවර්ධන වැන්නන්ය. නමුත් මගේ එක් ඇසක් නිතරම නලින් ද සිල්වා ගේ පැත්තට යොමු වී තිබුණි. සමහර විට මට තරම් නොවන අයුරින් ඔහුට අභියෝග කිරීමට මම ඉදිරිපත් වූයෙමි. දැන් ආපසු හැරි බලන විට ඒ අවස්ථා බෙහෙවින් ලැජ්ජා සහගත වුව ද ඒ ආකාරයෙන් හෝ එවැන්නෙක් ප්‍රතිවාදියෙක් බවට පත් කරගැනීමට අවස්ථාව ලැබීම කලාතුරකින් හිමිවන වරප්‍රසාදයකි. ප්‍රසිද්ධ සභාවල බැන වැදීම් හී ඉලක්කයක් බවට පත් වීම මා සම්බන්ධයෙන් අවාසියක් නොවීය. එයින් මට අනන්‍යතාවයක් ද ලැබුණු. ඊට වඩා වැදගත් වූයේ ඔහුගේ අදහස් වෙත නිරන්තරයෙන් යොමුවීමට පෙළඹවීමක් ඒ නිසා ඇති විය.

මගේ අදහස වන්නේ ඔහුගේ බුද්ධිමය-දේශපාලන ව්‍යාපෘතිය ඓතිහාසික වශයෙන් අවසන් වී ඇති බවයි. ඔහුගේ අදහස්වලට 1980ගණන් හා 1990 ගණන්වල බුද්ධිමත් තරුණ පිරිස් අතර පැවැති ආකර්ශනය දැන් ඒ මට්ටමටම ඇත්තේ නැත. නමුත් ඔහුගේ උරුමය අප කිසිවෙකුටත් අමතක කර දැමිය නොහැක. කිසිදු සැකයක් නොමැතිව, නලින් ද සිල්වා යනු 1980 දශකයේ මැද සිට ඔහුගේ ජීවිතය අවසන් වන තෙක් කාලයේ ලංකාවේ ජීවත් වූ බලපෑම් සහගතම බුද්ධි ජීවියා ලෙස නම් කිරීමට පුළුවන. ඒ බුද්ධි ජීවියාගේ ප්‍රතිවාදියෙක් ලෙස හෝ ඔහුගේ බුද්ධිමය ලෝකයේ කොටසක් බවට පත් වීමට හැකියාව ලැබීම වරප්‍රසාදයකි.

මේ සටහන ලියා අවසන් කරන විට ඔහුගේ මනසින් තොර ශරීරය පෘතුවි ගෝලයේ අනෙක් පැත්තේ අවසන් චාරිත්‍රය සදහා සූදානම් කෙරෙනවා විය හැකිය. මගේ ජීවිතයේ පසුගිය වසර තිස් පහකට අධික කාලය තුළ ඔහු මොහොතකට හෝ මතකයේ හොල්මන් කළ දින තිබුණා දැයි මට මතක නැත. තිබුණා නම් ඒ ඉතා අඩුවෙන් බව නිසැකය. ඔහුගේ අදහස් පරීක්ෂා කරමින් 2017 වර්ෂයේ දී ලිවීම ආරම්භ කල පොත ඔහු ජීවතුන් අතර සිටියදී ප්‍රකාශයට පත් කිරීම මගේ අපේක්ෂාව වුවත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි විය. එය මගේ පසුතැවීමට හේතුවකි. කෙසේ වුවත් තව සෑහෙන කලක් ගතවන තෙක් ඔහුගේ බුද්ධිමය බලපෑම ලංකාවේ දේශපාලනය තුළ වැදගත් සාධකයක් වනු ඇත. දශක දෙකහමාරකටත් පෙර ඔහුගේ නිවසට මා ගිය දිනෙක මට ලැබුණු සුහද පිළිගැනීමේ සහ රසවත් තේ කෝප්පයේ උණුසුම සිහිපත් කරමින් මේ සටහන අවසන් කරමි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ facebook පිටුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස