මට දිව්‍යඥානේ නැහැ…! ඇන්ටිජන්වල ගණන් හිලව් කිව්වේ ෆේස්බුක් බලලා…! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි…

August 29, 2021 at 8:35 am | by emanisa.lk

රැපිඩ් ඇන්ටිජන් එක් පරීක්ෂණ කට්ට්ලයක් රුපියල් අසූවකට ලබාගත හැකි බවට තමන් ප්‍රකාශ කළේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව බව ඇඹිලිපිටිය බෝධිරාජාරාමාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

තමන්ට දිව්‍යඥානය නොමැති බවත්, කිසිවකු ලබාදුන් තොරතුරු මත පදනම්ව සිය ප්‍රකාශය නොකළ බවද සෝභිත හිමියන් අවධාරණය කළහ. එම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමනයක් සිදුකර කට්ටලවල මිල අවම කරන මෙන් තමන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ උසස් වර්ගයේ ගුණාත්මක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පමණක් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණයට ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අඩු මිල හා ගුණාත්මක භාවයෙන් අවම රැපිඩ් ඇන්ටිජන් කට්ටල භාවිත කිරීමෙන් කොවිඩ් ආසාදනය වූවන් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක ක්ෂණික නිර්දේශ මාර්ගෝපදේශ පත්‍රිකාව, සාම්පල් රඳවනය, නිස්සරණ ටියුබය, වයිරස නිස්සරණ දියරය, පරීක්ෂණ උපකරණය, ධන තත්ත්ව පරීක්ෂණය, සෘණ තත්ත්ව පරීක්ෂණය, සාම්පල් ලබාගන්නා ටියුබය, නිස්සරණ ටියුබයේ පියන හා විස්තරාත්මක මාර්ගෝපදේශය යන මෙවලම් 10ක් ඇතුළත් වේ.

මෙවැනි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක පාලන මිල රුපියල් 1146 ක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. පරීක්ෂණ කට්ටලයක ඇති මෙවලම් දහයම එක් පරීක්ෂණයකට උපකාරී වන බැවින් එක් පරීක්ෂණ කට්ටලයක මිල රුපියල් 80 ක් බව ප්‍රකාශ කිරීම ජනතාව නොමග යැවීමක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *