මං ඉන්නේ පරාක්‍රම සමුද්‍රේට පහළ ගෙරද…! ඇවිදින මං තීරුවෙන් වැව් බැම්මට හානියක් නෑ…! මේ රාජපක්ෂලගේ නෙමේ, රටේ සල්ලි…! රටේ දියුණුවට නම් වළ කපන්න එපා…! – එජාප හිටපු මන්ත්‍රී….

August 28, 2021 at 10:29 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප පොළොන්නරු දිස්ත්‍රික් නායක නාලක කොළොන්නේ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

බොහෝ දෙනෙකු පරාක්‍රම සමුද්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අබ මල් රේණුවක හෝ දෙයක් නොදැන, තමන්ගේ හිතලු ප්‍රකාශ කරන බව පෙනෙන්නට ඇත. මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියට යටත්වය. එහෙයින් කවරෙකුට හෝ අත්පත් වන වාසි මත, රටට නොගැළපෙන ව්‍යාපෘතීන් සිදු කිරීමට තරම් එම ආයතනවල උදවියගේ විෂය සම්බන්ධ දැනුම බාල වී නැත.

විශේෂයෙන්ම බොහෝ දෙනෙකු අනිසි බියක් ඇතිකරගෙන ඇති රළපනාවේ කතාව සම්පූර්ණයෙන්ම මවන ලද බිල්ලෙකු වන අතර, මෙම ව්‍යාපෘතිය පුරාවටම එහි මුල් ආකෘතිය කිසි ලෙසකින්වත් වෙනස් වන්නේ නැත. විශේෂයෙන්ම මේ සඳහා යොදවන්නේ රාජපක්ෂ පවුලේ මුදල් නොව ඔබේත් මගේත් බදු මුදල් වන නිසා, දේශපාලනයෙන් පරිභාහිරව මේ සම්බන්ධයෙන් කතා කිරීමේ පූර්ණ නිදහස මා සතුය.

බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබූ පරිදී මෙයින් වැව් බැම්ම විනාශ වේ නම්, එහි මුල්ම ප්‍රතිඵලය අත්විඳින්නට වන්නේ මා හටය. මන්ද පොළොන්නරුවේ බොහෝ දෙනා දන්නා පරිදි මාගේ නිවස පිහිටා තිබෙන්නේ වැව් බැම්මෙන් පහළ එක් කෙළවරකය. එහෙයින්, එවැනි අනතුරක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මුලින්ම පාරට බසින්නේ ඔවුන් නොව මමය.

විශේෂයෙන්ම ඉතා නින්දිත ලෙස භාෂාව හසුරුවමින් අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය වියදම් සඳහා මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදැන කතා කරන බොහෝ දෙනා සම්බන්ධයෙන් මට ඇත්තේ කණගාටුවක්ය. රටේ ඇතිවී ඇති කොරෝනා තත්ත්වය මත එම මුදල් සෞඛ්‍ය අංශ වෙත ලබා දිය යුතු යැයි බොහෝ දෙනා යෝජනා කර තිබූ බව මවිසින් දුටු අතර, එය ප්‍රායෝගිකව කරන්නට හැකි නම් ඉතා ම හොඳ ක්‍රියාවක්ය.

එහෙත්, පොළොන්නරුව නගරයට වෙන්වූ මෙම මුදල් යළි කිසි දිනක එවැනි වෙනත් කිසිඳු ව්‍යාපෘතියක් සඳහා වෙන් නොවන බව විෂය දන්නා අයෙකුගෙන් ඔබ ප්‍රථමයෙන්ම දැනගත යුතුය.

මෙම ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අබ මල් රේණුවක හෝ පැහැදීමක් මා වෙත නැතත්, ඉහත කිවූ පරිදී මේ මුදල් රාජපක්ෂලාගේ පෞද්ගලික බූදලයක් නොවන බව ඔබ තේරුම් ගත යුතුය. තවද දිනෙන් දින නිසි නඩත්තුවක් නොමැතිව අභාවයට යන මෙකී පෞරාණික වස්තූන් රැකගැනීම වෙනුවට බොරු රැඩිකල්බාවයන් පෙනවමින්, ඊනියා කණ්ඩායම්වල උවමනා එපාකම් සපුරන ඔබ සැමදෙනාම සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් කණගාටු විය යුතුය.

එසේම, කුමන තත්ත්වයකදී වුවද මාගේ දේශපාලනය හෝ හෘද සාක්ෂිය හුදෙක් ලාබ ප්‍රයෝජන හමුවේ පාවා නොදෙන බව ද අවසාන වශයෙන් රටක් හමුවේ නොබියව ප්‍රකාශ කළ යුතුමය. එහෙයින්, ඔබ මා වෙත ගල් ගසන්නට පෙර බුද්ධිමත්ව මේ දෙස වරක් දෙවරක් නොව සිය දහස් වරක් විමසා බැලිය යුතුමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස