මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාට ඊයේ දිවි අහිමි විය.
ඊයේ අලුයම මෙම කඩාවැටීම සිදු වූ අතර යුවළගේ මළ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත හැකි වූයේ පැය අටකටත් පසුවය.
පස් මහල් නිවස කඩාවැටෙන බව දැනගැනීමෙන් පසු එහි නිවැසියන් ඒ ගැන අසල්වාසීන්ව දැනුවත් නොකර වහාම ඉවත්ව ගිය බවට මෙම අනතුරින් දිවි ගලවාගත් ඥාති දියණිය චෝදනා කළාය. ඇය පැවසුවේ ඔවුන් කෑ ගසා කිව්වා නම් ජීවිත තුන බේරාගැනීමට හැකිව තිබූ බවය.
“කෑගහලා හරි කිව්වානම් අපිට එළියට දුවන්න කියලා එතන ඉඳන් එළියට එන්න විනාඩියක්වත් යන්නේ නැහැ. තමන්ගේ බල්ලොයි වාහනනයි එළියට ගන්න වෙලාවේ එක විනාඩියකට ගෙදර ඔක්කොම යන්න ඇතිනෙ. එක්කෙනෙක් හරි කෑගහලා කිව්වානම්. ඒ පොඩි එක්කෙනාට චූටි හීරිමක්වත් වෙලා නැහැ. හුස්ම ගන්න බැරිව තමයි නැතිවෙලා තියෙන්නෙ. ඒ ළමයා මොන පවක් කළාටද? අර මිනිස්සුන්ට කියලා යන්න තිබ්බනෙ යන දිහාක.”
කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේටය.
අනතුර කල් තියා දැන ඉවත් වූ බව කියන අනුර ලෙව්කේ සිය බිරිඳ සහ දරුවන් සමඟ ඊට ආසන්නයේ පිහිටි අසල්වැසි නිවසක ඊයේ රාත්රීයේ රැඳී සිට තිබුණි. ඔහු සිය පවුලේ සියලු දෙනා සහ වාහනය ද නිවසේ කූඩුවේ සිටි බල්ලා ද නිවස කඩා වැටීමට පෙර ඉවත් කර ගෙන තිබිණි.