බිඳ වැටුණු සමාජය ගොඩගන්න මාලිමාව සඟ සරණ යයි..!

March 4, 2024 at 2:13 pm | by emanisa.lk

බිඳ වැටුණු සමාජය ගොඩනැගීමට මහ සංඝරත්නයෙන් මගපෙන්වීම සහ ආශීර්වාදය අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

මහනුවර පැවති ජාතික භික්ෂු සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

“වර්තමානය වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුණු හතරාකාරයෙන්ම බිඳ වැටිලා. 1815 දේශපාලනය බිඳවැටුණා. එතැන් සිට ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙනුත් බිඳවැටුණා. අපට පුනරුද යුගයක් බිහි කිරීමට සිදුවෙන්නේත් මේ කරුණු හතර මූලික කරගෙන. ජාතික ජන බලවේගයේ දැක්ම තමයි බිඳවැටුණු දේශපාලනය නැවත ගොඩනැගීම.

1815 බිඳවැටුණු සමාජය ආරම්භ කළ හැකි වන්නේ දේශපාලන පුනරුදය ආරම්භ කිරීමෙන්. අපි තවමත් නිදහස ලබා නැහැ. අපට සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණයක් ලැබෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වන්නේ දේශපාලන පුනරුදයේ ආරම්භක ජයග්‍රහණය ගැනීමටයි.

අද රටේ බහුතරයක් විවිධ සමාජ ස්තරයන් ඔස්සේ පෙළගස්වමින් සිටිනවා. ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩනැගීමට තිබෙනවා. ඒ සඳහා අනුශාසනය කරන ලෙසට මේ මහ සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා මගපෙන්වන්න. එය මහ සංඝරත්නයෙන් ලැබෙන විශාල ශක්තියක් හා ධෛර්යයක්.

අපේ භික්ෂුන් වහන්සේගේ, මවුලවිතුමන්ලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මඟපෙන්වීම, අනුශාසනය ලබන්න සූදානම්. ඔබ වහන්සේලාගේ මේ සමුළුවේ අරමුණු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *