බලය රැකගැනීම අත්‍යවශ්‍ය සේවාව කරගත් දුර්දාන්ත ආණ්ඩුව එළවන්න කැරැල්ලක් ගහනවා…! – සජිත්…

June 28, 2022 at 4:19 pm | by emanisa.lk

ආණ්ඩුව රට තල්ලුකර ගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බව ද අවධාරණය කළේය.

පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එහි පළමු අදියර අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ විය.

ඒ අනුව, නවලංකා නිදහස් පක්ෂය, පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයෝ මේ අවස්ථාවට එක් වූහ.

ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණක් බවත් එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවලින් දුක් විඳින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් එවිට මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවන බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *