පොළොන්නරුව සහල් මෙහෙයුම අසාර්ථකයි…! මෝල්හිමියන් වෙනුවෙන් සංඝරත්නය පෙරට…! සහල් ගේන්න ගිය ලොරි 70න් 31ක් හිස් අතින් කොළඹට…!

September 9, 2021 at 8:03 am | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වූහ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය, ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීම ඊයේ (08) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

ලබා ගන්නා සහල් ස​.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ. සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ප්‍ර දේශයේ භික්ෂූන් වහන්සේලාව කිලෝව රු. 91 යටතේ සහල් ලබා දිය නොහැකි බව ප්‍රකාශ කරමින් නිලධාරීන්ට විරෝධය පෑහ.

සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *