අර්බුදයකට තුඩු දුන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනය වෙත ගෙන යාමට එකඟතාවකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඒ අනුව දැනටමත් ගිවිසුම්ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශ්වයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයට ම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇත. එසේ ම අදාළ සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන ලෙස ද නීතිපතිවරයා රජයට දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකාවට ගැළපෙන පොහොර නිෂ්පාදනය කර ගෙන ඒමට සමාගම එකඟ වූ බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.