මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම අසත්‍ය ප්‍රකාශ පළමුව සමාජගත වීමට ආරම්භ වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් 2020 වසරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කළ ප්‍රකාශයක් ඔස්සේ බවය.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව 2020 සැප්තැම්බර් 19 වන දින කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිවරුන් තිදෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පැහැදිලි කර ඇති බවද එහි සඳහන් වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වන, කාදිනල් හිමිපාණන් ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර බව කතෝලික සභාව අවධාරණය කරයි.
තවද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක අංශ වෙත කලින් දැනුම්වත් කර තිබූ බවට සහ ඒ හරහා කාදිනල්තුමාද දැනුම්වත්ව සිටි බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රකාශද අසත්‍ය බව එම නිවේදනයේ දැක්වේ.
මෙවැනි අසත්‍ය ප්‍රචාරවල අරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කර සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා සිදු කෙරෙන විමර්ශනවලට බාධා කිරීම බව පෙනී යන බවද කතෝලික සභාව පවසයි.