පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහ ජනතාව වෙත ලබාදිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
අද (21) පාර්ලිමේන්තු සභාව ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා මේ බව පැවසීය.
“පාස්කු ඉරුදින සිදුවූ ප්රහාරයන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා නොදීම පිළිබඳ මෙම සභාවේ මතුකරනු ලැබූ කරුණු සහ එකී සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහ ජනතාවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව මේ දිනවල විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය මම මේ ගරු සභාවට දැනුම්දීමට කැමැත්තෙමි.
ජනාධිපති ලේකම්වරයා විසින් ඔහුගේ 2022යි 03යි 03 වන දින 2022 යි 03යි 14 වන දිනැති ලිපිය මගින් මාවෙත දැනුම්දී තිබූ පරිදි අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා එම රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු මහ ජනතාව වෙත විවෘත කිරීමට නොහැකි බවත්, පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පමණක් ම භාවිත කළ යුතු බවත් 2023යි 09යි 12 වන දිනැති ලිපිය මගින් ද ජනාධිපති ලේකම්වරයා විසින් නැවතත් අවධාරණය කර ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.”