ගෝල්ෆේස් අරගලකරුවන් හෙට (9) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබා දීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඊයේ (07) පස්වරුවේ එම අරගලකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන මෙම විරෝධතාවේ දී කිසි ම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට එය වාසිසහගත වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙම ජාතික විරෝධතා දිනය පවත්වන්නේ රනිල් –ගෝඨා කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හැරීම අරමුණු කරගෙන බවත් ඊට තම දේශපාලන ව්‍යාපාරය සහාය දීම අවශ්‍ය යැයි තීරණය කළ බවත් දිසානායක මහතා කීය.
ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බවත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවැසීය.
එම නිසා කිසි ම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බව ද ඔහු වැඩි දුරටත් කීය.