පළාත් සභා තියාගෙන ජනාධිපති ධූරය දුර්වල කරන 21ට විරුද්ධයි…! මරණ තර්ජනවලට බයේ රටට එරෙහි තීන්දු ගන්න බෑ…! – අනුප පස්කුවල්…

June 3, 2022 at 9:36 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමය නිසා රට කැබලි වී සන්ධීය රාජ්‍යයක් බිහි වීමේ අවධානමක් පවතින නිසා පළාත් සභා ක්‍රමය පවතින තුරු ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පස්කුවල් පවසයි.

පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී ජනාධිපති මන්දිරියේ දී මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

“අතිගරු ජනාධිපතිතුමනි. අපි දන්නවා ජනාධිපති ක්‍රමය ආරම්භ උනේ 1978 සිට. එය ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කල දෙයක් කියල. අපි 1987 දක්වා එයට එරෙහිව සටන් කලා. සරසවි ශිෂ්‍යයෝ විදිහටත් සටන් කරා නමුත් 1978 ඉන්දු-ලංකා ගිවිසුම හරහා ඇති වූ පළාත් සභා ක්‍රමය නිසා රට කැබලි වීම, වෙන්වීම සන්ධීය රාජ්‍යක් කරා ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා අපට තියෙන ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රනය තමයි ජනාධිපති ක්‍රමය ඒක නිසා අපිට සිද්ධ වෙනවා පළාත් සභා ක්‍රමය තිබෙන තෙක් ජනාධිපති ක්‍රමය ශක්තිමත්ව ආරක්ෂා කරගන්න. ඒක නිසා අපි 21 වන සංශෝධනයේ ජනාධිපති බලතල ඉවත් කිරීමට සපුරා විරුද්ධයි.

ඒ වගේම ඒ අදහස ප්‍රකාශ කරන කොට අපිට කියනවා නම් අපිට මරනීය තර්ජනයක් එල්ල වෙනව කියල අපි මරණයට බය නෑ කියල කියන්න කැමතියි. මරණය අභිමුව වුණත් බියගුල්ලන් ලෙස කටයුතු කරන්නැතිව ජනතාවගේ නියෝජිතයෝ ලෙස පැමිණිලා අපි මේ ජනපති ක්‍රමය ආරක්ෂා කරගන්න, ඒකීයභාවය ආරක්ෂා කරගන්න ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා. ඒක නිසා අපි කියන්න කැමතියි අපි තර්ජනයට බයේ තීන්දු ගන්නෙ නැහැයි කියන එක.

ඒ වගේම තමයි අපි දකිනව මේකෙ තව අංශයක්. ඒක තමයි ස්වාධීන කොමිෂන් සභාව, වචනය තුලම තියෙනව ඒක ස්වාධීනයි කියන එක. ස්වාධීන කොමිෂන් සභා වලට තියෙන බලතල තනතුරු පත් කිරීමට තියෙන බලතල ජනාධිපති ඉන් ඉවත් කරල ස්වාධීන සියලුම පක්ෂ සමන්විත ව්‍යවස්ථාධායක සභාවකට එහි බලතල දෙනවට අපේ විරුද්ධත්වයක් නැහැ.

නමුත් අපි දන්නවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති බලතල අගමැතිටත් ව්‍යවස්ථා දායක සභාවටත් දීල පාර්ෂව තුනකට බලය බෙදා හැරල මෙරට අවුල් ජාලාවක් එහෙම නැත්තන් අච්චාරුවක් බවට පත්කරා. මේ රටේ ජනමතයක් තියෙනවා හඬක් තියෙනවා කතාවක් තියෙනවා දෙවිවරු දෙන්නෙක් රට පාලනය කරනවට වැඩිය එක යකෙක් රට පාලනය කරන එක හොදයි කියලා. ඒක නිසා තමයි අපි කියන්නෙ ජනාධිපති ක්‍රමය වෙනුවට තුන්කොන්, බලය තුනකට බෙදීම ඉතාමත් හානි කරයි. ඒක නිසා ජනාධිපති බලතල ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කැපවෙනව.

එමෙන්ම වසර 74 ක කාලය තුල මන්ත්‍රීවරු හෝ ඇමතිවරු හොරකම් කරල දඬුවම් ලබල නැහැ. නමුත් ජනතාවගේ ප්‍රබල ඉල්ලීමක් තියෙනව හොරකම් කරන විධායකයට අයිති සහ ව්‍යවස්ථාදායකයට අයිති පුද්ගලයින්ට දඩුවම් දෙන්න අවශ්‍ය නීති සම්පාධනය කරන්න කියල. එබැවින් විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ඒකට අවශ්‍ය කරන පොලිස් බලතල හා අධිකරණ බලය සහිත කොමිෂන් සභාවක් අධිකරණ අමාත්‍යංශය යටතේ ඇති කරන්න කියල. එය පාර්ලිමේන්තුවෙනුත් විධායකයෙනුත් ඉවත් කල යුතුයි.

ඒ වගේම මේ අවස්ථාවේදී අපි දැක්කා පහුගිය දවස්වල නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කරපු විගඩම. රටම හිනස්සපු විගඩම් අපිට අවශ්‍ය නැහැ. මේ වෙලාවෙ අපිට අවශ්‍ය කරන්නේ තෙල් ප්‍රශ්නය විසඳන, ගෑස් ප්‍රශ්ණය විසඳන, සාගතය විසඳන විසඳුමක්. විසඳුම් ගැන කතා කරන එක පාර්ලිමේන්තුවේ වගකීමක්. ඒ වගේම කාබනික පොහොර ව්‍යපෘතිය බිඳ වැටෙන්න එක හේතුවක් තමයි ජාතික ව්‍යාපාරය නොතිබිච්ච එක.

බයිසිකල් ධාවනය ජනතාවට හුරු කරන්න, ඒ වගේම වගා සංග්‍රාමයට යොමු කරන්න, ඒ වගේම අපි දන්නවා ගෑස් වෙනුවට දර ලිප්, ඒ වගේම හයිබ්‍රිඩ් ලිප්, ඒ වගේම ලාඩප්පා ආශ්‍රිත නව නිර්මාණ ජන ගත කරන්න ජාතික ව්‍යපාරයක් අවශ්‍යයි. ඔබතුමාගේ උපදේශකත්වය යටතේ මේ වැඩ සටහන අපි ක්‍රියාත්මක කරන්න කැමතියි. ඒක නිසා මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ජනතාවගේ දුක බෙදාගෙන ප්‍රශ්න විසඳන මේ අභියෝගය ජයගන්නේ කොහොමද කියන එක කතා කරන එකට ප්‍රමුඛතාව දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම 21 මගින් ජනපති බලය නැති කිරීමට අපි විරුද්ධයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *