පළාත් සභා අහෝසි කිරීමේ උත්සාහය ඉන්දියානු සහයෙන් පරදනවා…! පළාත් සභා මැතිවරණය ඉල්ලා පාරට බහිනවා….! – සුමන්දිරන්…

April 17, 2021 at 7:42 am | by emanisa.lk

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ නොතබන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

කෙසේ වුව ද දෙමළ ජනයා්ගේ ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රායෝගික නොවන වත්මන් පළාත් සභා ව්‍යුහය ඒ අයුරින්ම පිළිගැනීමට ඔවුන් සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

පසුගිය 15 වෙනිදා යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැති පූජාවකට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

“දැන් පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද කියන කාරණය ගැන මේ දවස්වල විශාල කඹ ඇදිල්ලක් තියනවා. භික්ෂූන් වහන්සේලා මේකට විරුද්ධව කතා කරනවා. රජය පළාත් සභා මැතිවරණය ගැන විවිධ කතා කියනවා. අපි කියන්නේ එකම එක කාරණයයි. මේ රජයට නෙමෙයි කිසිම රජයකට පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාවේ පූර්ණ සහය ලබා ගෙන අපි ඒ ක‍්‍රියාව වළක්වනවා.

නමුත් දෙමළ ප‍්‍රශ්නය විසඳීමට කියලා ඉදිරිපත් වෙලා තියන මේ වත්මන් පළාත් සභා ක‍්‍රමයේ ව්‍යුහයටත් අපි ඒ ආකාරයෙන්ම එකඟ වන්නේ නැහැ. අපි දෙමළ ජාතික සන්ධානය ජනතාවට සේවය කරන පක්ෂයක් විදිහට ඉල්ලා සිටින්නේ පූර්ණ බලතලවලින් යුත් උතුරු නැගෙනහිර පළාත්වලට තනි පාලන බලයකින් යුත් දේශපාලනික ව්‍යුහයකුයි.

කෙසේ වෙතත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කරනවා නම් අපි ඒකටත් විරුද්ධ වෙනවා. ඉතාම ඉක්මනින් එය පැවැත්වීම සඳහා බලපෑම් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *