ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩයාය ප්‍රදේශයේ පිහිටි තම ගවගාල් අහිමිවීම මත එම කිරි දෙනුන් ඇති කිරීම සඳහා සුදුසු තණ බිම් ඉල්ලා ඊයේ (07) උද්ඝෝෂණයක් පැවැත්විණි.
තණ බිම් ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත බලකරමින් පොළොන්නරුව, තඹාල නගරයේ දී මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය අසලට තම කිරි දෙනුන් සහ ගව පට්ටි ද දක්කා ගෙන විත් ගවයින් යොදවා මාර්ගය හරස් කරමින් ගොවීහු විරෝධතාවට එක්ව සිටියහ.
තඹාල කිරි නිෂ්පාදන සංවිධාන ගොවි සමිතියේ එම ගොවීන් සතුව කිරි දෙනුන් 1250ක් පමණ සිටින බවත් එම සතුන් ඇති කිරීම සඳහා සුදුසු තණබිම් රජය මගින් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවත් එම කිරි ගොවි සමිතියේ සභාපති ඒ.බී.එම්. සමීම් ප්‍රකාශ කළේ ය.
මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් නොලදහොත් මේ ජීවනෝපාය තව දුරටත් කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තම අඹු දරුවන් සමඟ මහ මඟට ඇද වැටෙන බවත් ඔවුහු පවසති.
කිරි ගොවීන්ගේ මෙම විරෝධතාව හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් තිස්සේ අවහිර වී පැවැතීම නිසා එහි රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ලවූ බව පුලස්තිපුර පොලිසිය සඳහන් කළේ ය.
පසුගියදා භික්ෂූන් වහන්සේලා සහ පරිසර සංවිධාන විසින් වනයේ පැවති මෙම ගව පට්ටි හිමියන්ගේ මඩු කඩා බිඳ දමනු ලැබී ය.