පන්සල් ඉඩමේ ජනතාව පදිංචි වුණා මිස බලෙන් පන්සල් හැදුවේ නෑ….! කොටි සිටින තුරු අපට කිසිම අයිතියක් ලැබුණේ නෑ….! දෙමළ ජනතාව අවුස්සන්නේ උතුරට බස් හෝල්ට් එකක් නොහැදූ TNA එකයි….! – අරුන් සිද්ධාර්ථන්…

February 13, 2021 at 3:25 pm | by emanisa.lk

පසුගිය සමයේ පන්සලේ ඉඩම් ටික අල්ලා ගෙන ජනතාව පදිංචි වූවා මිස පන්සල් තැනීම සඳහා ජනතාවගේ ඉඩම් අල්ලා ගැනීමක් උතුරේ සිදු නොවූ බව යාපනේ සිවිල් සංවිධාන කේන්ද්‍ර යේ කැඳවුම්කරු අරුණ් සිද්ධාර්ථන් පවසයි.

එහෙත් දෙමළ සන්ධාන දේශපාලකයින් යාපනේ ජනතාවගේ ඉඩම් අල්ලා ගෙන පන්සල් තනා ඇති බවට අසත්‍ය මතයක් සමාජගත කරන බවත් එය ඉතා ම භයානක බවත් සිද්ධාර්ථන් සඳහන් කරයි. උතුරේ මුද්‍රණය වන පුවත්පත් ටික අල්ලා ගෙන මෙම අසත්‍ය මතය සමාජගත කරන බවට ද ඔහු චෝදනා කරයි.

උතුරේ බස් නැවතුමක් පවා නොහැදූ දෙමළ දේශපාලකයින් ප්‍රභාකරන් වීරත්වයට නංවන අතර ආණ්ඩුව සිංහල බෞද්ධ ජාතිවාදී බවත් එය දෙමළ ජනතාවගේ හතුරා බවත් ජනතාවට කියන බව ද ඔහු පෙන්වා දෙයි.

2009ට පෙර අද දෙමළ දේශපාලකයින් පවසන මානව අයිතිවාසිකම්, සුළු ජාතික අයිතිවාසිකම්, ප්‍රජාතන්තවාදය ආදි කිසිදු අයිතියක් උතුරේ ජනතාවට නොතිබූ බව ද සිද්ධාර්ථන් අවධාරණය කරයි.

දකුණේ සිංහල ජනතාව සමඟ ජීවත් වන විග්නේශ්වරන්, සුමන්දිරන් උතුරට පැමිණ දෙමළ තරුණයින්ට ප්‍රභාකරන් මෙන් අවි අතට ගන්නා ලෙස ප්‍රකාශ කරන බවත් ඒ සඳහා පොන්නම්බලම් එන්නේ ලංඩන් සිට බවත් පවසන සිද්ධාර්ථන් මොවුන් විදෙස් රටවල ඒජන්තයින් බව ද අනාවරණය කරයි.

තිරිකුණාමල කොටි නායක එලිලන් මාවිල්ආරුවල වතුර නතර කොට ගැටුම ආරම්භ කර සාමාන්‍ය තරුණයින්ට සයනයිට් ලබා දී අවසාන ගැටුම අවස්ථාවේ බලෙන් අල්ලා ගෙන ගොස් කොටි සංවිධානයට බඳවා ගත් දෙමළ තරුණයින්ට සයනයිට් දී සුදු කොඩි අරගෙන යටත් වූ බවටත් චෝදනා කළේ ය. දැන් ඔහුගේ බිරිඳ සිය සැමියා වෙනුවෙන් ජිනීවා යන බවත් එලිලන්ලා යුද්ධයට බිලි දුන් ජනතාවට වගකියන්නේ කවුද කියාත් සිද්ධාර්ථන් විමසා සිටියේ ය.

ඉදිරියේ දී ගැටුමක් ඇති වුවහොත් දෙමළ සන්ධාන නායකයින් ලන්ඩන් ගොස් පදිංචි වනු ඇති බවත් අහිංසක දෙමළ තරුණයින් ඒ ගැටුමට බිලි වනු ඇති බවත් ප්‍රකාශ කළ සිද්ධාර්ථන් තමන්ට උදව් කරන ලෙස දකුණේ සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දෙමළ සන්ධානය සියලු දෙමළ ජනතාව කොටි ලෙස පෙන්වීමට උත්සාහ කළ ද සියලු දෙමළ ජනතාව කොටි නොවන බවත් සියලු කොටි දෙමළ ජනතාව නොවන බවත් ඔහු අවධාරණය කළේ ය.

යාපනේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස