නොරෙච්චෝලේ බලාගාරය හැදීම වරදක්..! හරිත බල ශක්තිය වෙත යොමු විය යුතුයි..! – ජනපති…

November 22, 2023 at 9:32 am | by emanisa.lk

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට රටට අභියෝගයක් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය, එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොලඹවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ වූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) මේ බව කීවේ ය.

එවකට පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ සිදු කළ සලකා බැලීම් සහ ජපානයේ සහය ඇතිව වඩාත් නවීන තාක්ෂණයෙන් යුතු ව්‍යාපෘතියකට එළඹීම වෙනුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට එදා අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමා ගත් තීන්දුව හේතුවෙන් තමාට දැඩි විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

සුළං බලශක්තිය වැනි තිරසර බලශක්ති ප්‍රභවයන් නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව තමා සතුටට පත් නොවන බව පැවසූ ජනාධිපතිවරයා බලශක්ති කළමනාකරණයේ දුර්වලතා පිළිබඳව අවධානය යොමු කළයුතු බව කීවේ ය.

ඒ අනුව, දිගුකාලීන බලශක්ති උත්පාදන සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක දැක්මක් හා නැවත ඇගැයීමක් සිදුකළ යුතු බව ද ඔහු පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පුළුල් දැක්මකින් යුතුව මග පෙන්වීමට බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවිය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමග එක්ව මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.\

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.

මෙම මාර්ග සිතියම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ ග්‍රීන්ස්ටැට් හයිඩ්‍රජන් ඉන්දියා සමාගම අතර සිදුකරන ලද සහයෝගීතා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන බවත්, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ මාවත සකස් කිරීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබෙන බව ත් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ මෙන් ම “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස