ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරීමේ වැඩසටහන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් හේතුවෙන් තාවකාලිකව නතර කර දමා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය බාධා කිහිපයක් මතු වී ඇති බව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ අධිකරණ ඇමතිවරයා සඳහන් කර ඇත.
රට තුළ දරුවෙකු අතහැර දමා යාම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් යැයි සඳහන් කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්තිය සංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීමට මේ වන විටත් කමිටුවක් පත්කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව පළාත් නවයෙහි බිළිඳුන් භාර ගැනීමේ කවුළු ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෝජනාවක් විය.
සෞභාග්‍යයේ දැක්ම අරමුණු ඉෂ්ට කරලීමේ එක් ප්‍රවේශයක් වශයෙන් විවිධ ස්ථානවල අතහැර යන අලුත උපන් බිළිඳුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බිළිඳුන් භාර ගැනීමේ කවුළු ස්ථාපනය කිරීමට නියමිතව තිබිණි.
සංඛ්‍යා දත්තවලට අනුව වර්ෂයක් තුළ දිවයින පුරා විවිධ ප්‍රදේශවල අලුත උපන් බිලිඳුන් 300ක් පමණ මහමග දමා යන බවත් මේ සඳහා විසඳුමක් වශයෙන් මෙම තීරණය ගෙන තිබිණි. මෙම කවුළු සෞඛ්‍ය අමාත්‍යංශය සමග ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කිරීමට රජය බලාපොරොත්තු විය.