නීතිඥ සංගම් නිලවරණයේ දී බොරු දේශප්‍රේමය පරාදයි….! උගත්තු රාජපක්ෂලට විරුද්ධව අප දිනවන්න තීන්දු කරල….!

February 26, 2021 at 7:24 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.

නීතීඥවරු රටට පෙරමඟ පෙන්වති

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයෙන් සාතිශය බහුතර බලයක් (65% ක් පමණ) ලබාගෙන සභාපති ධුරයට පත් වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාට මාගේ උණුසුම් සුබ පැතුම් පළකර සිටිමි.

මෙවර නීතීඥ සංගම් නිලවරණය කිහිප ආකාරයකින් සමාජයට වැදගත් විය. එකක් නම් වෙන කවරදාකටත් වඩා රාජ්‍ය බලය ඉහළම ආකාරයකින් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ක්‍රියාකර තිබීමයි. අනෙක් අතින් ඉතාමත්ම අසීලාචාර සහ නීති විරෝධී ලෙස උපයන ලද කලු සල්ලි තොග ගණනින් එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොමුවීමයි. එමෙන්ම සුපුරුදු පරිදි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිදුවූවාක් මෙන් විවිධාකාරයේ මඩ, දේශපාලන අවලාද, ව්‍යාජ දේශප්‍රේමී සළුපිළි සහිතව ක්‍රියාත්මක වෙමින් ජාතික, ආගමික උමතුවක් මේ හරහා ඇති කිරීමට උත්සහ කිරීමයි.

එමෙන්ම පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෟජුව හෝ වක්‍රව සම්බන්ධ සභාපතිවරුන් නීතිඥ සංගමයට පත් වූ හෙයින්, මෙවරද ලැබූ ජනවරම ඉදිරියට ගෙනයෑම පිළිබඳව කතා කරමින් මෙය සම්පූර්ණ දේශපාලන මාතෘකාවක් බවට පරිවර්ථනය කිරීමයි. මේ සියලු දුෂ්කරතා මැද සාලිය පීරිස් මහතා සාතිශය බහුතරයකගේ ඡන්දයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයට පත්වී ඇති අතර ඒ මහතාම ප්‍රකාශ කළ පරිදි අධිකරණයේ හා නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයත්, ප්‍රතිපත්තිගරුකභාවයත් වෙනුවෙන් ඔහු ඉදිරියේදී කැප වෙනු ඇතැයි අප ද විශ්වාස කරන්නෙමු.

විශේෂයෙන්ම 20 වන සංශෝධනය විසින් හා ඉන්පසුව අධිකරණයට කරන ලද පත්වීම්වලින් මෙන්ම පොලීසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම විසින් ද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පක්ෂපාතීත්වය පිළිබඳ කාරණා වලින් ද කැපී පෙනෙන ආකාරයට ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ස්වාධීන නොවී, අපක්ෂපාතී නොවී, කාර්යක්ෂම නොවී, දේශපාලනමය වශයෙන් ක්‍රියාත්මක වන බව අතිශය පැහැදිළි වී ඇත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන උපකරණයක් වන අතරේ තමන්ට දේශපාලනිකව හිතවත් පිරිස් නිදොස් කොට නිදහස් කරලීමේ ක්‍රියාවලියක් බවට ද පරිවර්ථනය වී තිබේ. මේ තත්ත්වය නිවැරදි කර නැවත වතාවක් මේ රටේ ස්වාධීන අධිකරණයක් පිහිටුවීමට ද, එමෙන්ම අපක්ෂපාතී හා කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ඇතිකර ගැනීමට ද නීතීඥ සංගමය සාලිය පීරිස් මහතාගේ නායකත්වයෙන් කැපවෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේදී මේ රටේ උගත් මධ්‍යම පන්තිය සහමුලින්ම පාහේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතට ඇදී ගියේ, ඔහුගේ දේශප්‍රේමී හැඩරුවත්, ඔහු ආර්ථිකය මෙහෙයවීම සඳහා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මෙන්, එමෙන්ම සමාජය මෙහෙයවීම සඳහා නේරුතුමා මෙන් සහ රටේ ආරක්ෂාව සහතික කිරීමේ කාර්යයේදී රුසියාවේ පුටින් මෙන් ක්‍රියාකරන නායකයෙකු බවට ඉහළට ඔසවන ලද නිසාය. එමෙන්ම වෘත්තීයවේදීත්වයට තැන ලබා දී පවුල්වාදය, ගජමිතුරුවාදය තුරන් කරනු ලබන බවට වූ විශ්වාසය නිසාය.

නමුත් පසුගිය වසරක පමණ කාලය තුළ මේවා සියල්ලම ධම්මික පැණිය මෙන් අමූලික ව්‍යාජයක් හා මිත්‍යාවක් බව ඔප්පු වී තිබේ. අන් කවරදාටත් වඩා භයානක අර්බුදයකට රට මුහුණ දී ඇති අතර ගජ මිතුරුවාදයත්, පවුල්වාදයත්, ඥාති සංග්‍රහයත්, බලහත්කාරයත්, පාදඩකරණයත් මුළු සමාජයම වෙලාගෙන පවතී. නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිදු කරන දැවැන්ත පරිසර විනාශය, සමාජ විනාශය, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව සිදු කරන ව්‍යාපාර කටයුතු, ආනයන කටයුතු ආදියෙන් සිදු කරන දැවැන්ත මූල්‍ය වංචා සියල්ලෙන්ම පෙන්වා දී තිබෙන්නේ රාජපක්ෂවරුන්ගේ ඒ ක්‍රමවේදය කිසිදු වෙනසකින් තොරව නැවතත් ක්‍රියාත්මක වන බවයි.

මේ නිසා මේ රටේ උගත්, දේශපාලනික වශයෙන් චින්තනයක් ඇති සමාජ තීරුවක් වන නීතීඥවරුන්ගේ නිලවරණයේදී රාජපක්ෂවරුන් නියෝජනය කළ අපේක්ෂකයාගේ අන්ත පරාජයෙන් පෙන්වා දෙන්නේ, සමාජය විසින් දේශපාලන පණිවිඩයක් ලබාදී ඇති බවයි.

එනම්, තවදුරටත් මේ රටේ දිෂ්ඨි මවා, නොයෙක් ආකාරයේ අලෙවිකරණ ක්‍රමවලින් නායකයින් තැනීමේ ක්‍රමවේදයට පටහැණි, ප්‍රතිපත්තිගරුක සෘජු නායකත්වයක් වෙත සමාජයේ උගත් පිරිස් ගමන් කරමින් සිටිනා බවයි. මෙය නිපුණතා පරපුරේ පළමු මොහොත ලෙස අප හඳුනාගන්නෙමු. මේ රට අනාගතයේ භාරකළ යුත්තේද ඥාතීත්වය මත හෝ, පවුල්කාමය මත හෝ, දේශපාලකයන්ගේ බලයට හේත්තු වී අහඹු වාසනාවෙන් උඩට පැමිණි අය හෝ නොව, නිපුණතාව, කුසලතාව මත ඉහළට පැමිණි වෘත්තීය මට්ටමේ පිරිසකට රට භාරදීමේ ක්‍රියාවලියයි.

ඒ සඳහා පළමු පියවර තැබූ නීතීඥවරුන්ට අපගේ ගෞරවය හා ප්‍රණාමය මෙයින් පළ කරමු. සාලිය, ජයග්‍රාහී ඉදිරි ගමනකට ඔබට සුබ පැතුම් !

පාඨලී චම්පික රණවක

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස