නිරායුධ ජනතාවට බලය පෙන්වන්න අන්තවාදීන් සුළු පිරිසකට ඉඩදෙන්න බෑ! රටේ නීතියේ බලය කුමක් දැයි පෙන්වා දීමට පෙර රටේ නීතියට හිස නමන්න! – වැඩබලන පොලිස්පති

May 14, 2019 at 7:22 am | by admin

ශ්‍රී ලංකා පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම දුර්වලකමක් ලෙස නොසිතන ලෙසත් නිරායුධ අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට සුළු අන්තවාදී කණ්ඩායම්වලට ඉඩ නොතබන බවත් වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න අවධාරණය කරයි.

රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

” බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දුන් නිසා එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවුණා. එවැනි ක්‍රියා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි ක්‍රියා කිහිපයක් වාර්තා වූ නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූණා. මෙම සිදුවීම්වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළා. ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙන බවට තොරතුරු හෙළිව තිබෙනවා. වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට පොලිසිය විශාල කාර්යභාරයක් සිදුකළා. එවැනි පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණයි”

“2019 අප්‍රේල් 21 දින ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේදවලින් තොරවයි. ඒ සඳහා අංශූ මාත‍්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා. ඔවුන් විසින් සිදුකරනු ලබන එම ක්‍රියාව වහාම නතර කළ යුතුයි.”

“මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්න. එසේ නොවුණහොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශ්‍රී ලංකා පොලිසියට සිදුවනවා. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි වන්නේ නැහැ. ඔවුන්ට වසර 10 ක කාලයක් සිරදඩුවම් විඳීමට සිදුවනවා “.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *