ඇමරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන යුද නෞකාවේ සිටි දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකාව භාරයේ පසුවන දෙවන ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර රහස්‍ය ලේඛනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.
පසුගිය බදාදා ගාල්ල වරායට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියන් සාගරයේදී ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ‘IRIS Dena’ නම් ඉරාන යුද නෞකාව ගිල්වා දමන ලදී. මෙම ප්‍රහාරයෙන් නාවිකයන් විශාල පිරිසක් මියගිය අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් එල්ල කරන ලද මෙවැනි ආකාරයේ පළමු ප්‍රහාරය ලෙස සැලකේ. ‘IRIS Dena’ නෞකාව ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයකට සහභාගී වී නැවත ඉරානය බලා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයේ අතරමංව තිබූ ‘IRIS Booshehr’ නම් ඉරාන සහායක නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 208 දෙනෙකු ද ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇත.
මාර්තු 6 වන දිනැති රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පණිවිඩයට අනුව, කොළඹ සිටින ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරිනි ජේන් හොවෙල් (Jayne Howell) විසින් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර ඇත්තේ ‘IRIS Dena’ නෞකාවෙන් දිවි ගලවා ගත් 32 කු සහ ‘Booshehr’ නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට පිටුවහල් නොකළ යුතු බව, මෙම රඳවාගෙන සිටින පිරිස ඉරානය විසින් ප්රචාරක කටයුතු (propaganda) සඳහා යොදා ගැනීම අවම කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව, ‘Booshehr’ නෞකාව දෙපාර්ශවය අතර පවතින ගැටුම අවසන් වන තෙක් ශ්‍රී ලංකා භාරයේ තබා ගත යුතු බවත්ය.
එමෙන්ම, මෙම කාර්ය මණ්ඩලය ඉරානයට පක්ෂපාතී වීමෙන් ඉවත් කිරීමට (defection) යම් උත්සාහයක් ගන්නේද යන්න පිළිබඳව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ද ජේන් හොවෙල්ගෙන් විමසා ඇති බව එම වාර්තා පවසයි.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ විපතට පත් වූවන් භාර ගැනීම රටක් ලෙස ශ්‍රී ලංකාව සතු “මානුෂීය වගකීමක්” බවයි. දැනට ‘Booshehr’ නෞකාව නැගෙනහිර වෙරළේ වරායක් වෙත රැගෙන යන අතර එහි කාර්ය මණ්ඩලය කොළඹ ආසන්නයේ පිහිටි නාවික කඳවුරක් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
මේ අතර, මියගිය නාවිකයන්ගේ සිරුරු නැවත ඉරානයට ලබා දෙන ලෙස ඉරාන රජය ඉල්ලීමක් කර ඇති බවත්, ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෝ මෙරට ජනාධිපති ලේකම් කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.