ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වධය ලබාදුන් බව පවසමින් කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවකු කළ පැමිණිල්ලකට අදාළව කිරිබත්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
පෙරේදා (31) සිය දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමන්ට පහරදුන් බවට එම සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත.
බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර රැවුල සහ කොණ්ඩය බූගා දමන ලෙසත් සපත්තු නොදා සෙරෙප්පු පළඳින ලෙස සහ අත්ඔරලෝසුව නොපළඳින ලෙසත් තර්ජනය කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමන් විශ්වවිද්‍යාලයේ ආපන ශාලාව දෙසට රැගෙන ගොස් අනතුරුව තිදෙනකු සිය මුහුණට පහර දුන් බව ද ශිෂ්‍යයාගේ පැමිණිල්ලේ දැක්වේ.
පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 7 දෙනකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා අතර දුටුවහොත් හඳුනාගත හැකි බවත් එම සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා ඇත.