වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.
ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කර ගැනීම නොවන බව කී කාදිනල්තුමා ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළේය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මේ බව පැවසුවේ ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක ඊයේ (13) පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.
සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කර ගැනීමට අවසර දීම සෞභාග්‍යයේ දැක්ම දැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.
“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.
2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැඟෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ.
නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.”