රටේ ධීවර ප්‍රජාව වෙනුවෙන් දැනටමත් භාවිතයේ පවතින මත්ස්‍යයින් සොයාගැනීමේ ජංගම යෙදුම (App) තවදුරටත් පුළුල් කර නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දැනටමත් ලක්ෂයකට අධික ධීවරයන් පිරිසක් මෙම යෙදුම සාර්ථකව භාවිත කරන බවයි.
දත්ත තොරතුරු පදනම් කරගනිමින් දින දෙකක් හෝ තුනක් වැනි කාල සීමාවක දත්ත ගබඩාවක් (Database) මෙහි අන්තර්ගත වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම තාක්ෂණික මෙවලම තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා විදේශීය රටවල සමාගම් මෙන්ම පෞද්ගලික දුරකථන ආයතන කිහිපයක් සමඟද පසුගිය දිනවල සාකච්ඡා පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, එම කටයුතු වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ධීවර අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 1,000ක (රුපියල් බිලියනයක) මුදලක් වෙන් කර ඇති බව ඔහු වැඩි දුරටත් තහවුරු කළේය.