ධර්ම ද්වීපය රැකගත් මහින්ද අගමැතිතුමාට ධර්මද්වීප චක්‍රවර්ති නාමය පටබැන්දේ මමයි…! – අමරපුර මහා සංඝ සභාවේ සභාපති නාහිමි…

March 19, 2022 at 7:59 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුද්ධය අවසන් කළ නිසා අද ඕනෑ ම අයෙකුට යාපනයට පැමිණීමේ අවස්ථාව උදා වී ඇති බව අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජී නාහිමි ප්‍රකාශ කළහ.

යාපනය, නාගදීප රජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කොට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවේ දී අද (19) එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

නාගදීප විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාටත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාටත් අපේ ප්‍රසාදය පළකරනවා.

උතුරු ප්‍රදේශයේ ගරාවැටී තිබූ වල් බිහි වී තිබූ ස්ථාන ආරක්ෂා කර සංවර්ධනය කරන්න අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේලා විශේෂ කැප කිරීමක් සිද්ධ කර තිබෙනවා. මම පළමු වරට යාපනයට වැඩම කළේ 1970 දීයි. නමුත් නාගදීපයට එන්නට එවකට පැවති කෝලහාල නිසා බැරි වුණා. ඊට පසු පැමිණියේ මෙම අවස්ථාවටයි.

රටේ පැවති යුද්ධය අවසන් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ලෙස එවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් කටයුතු කළ නිසා යාපනය අර්ධද්වීපයට අද ඕනෑම කෙනෙක්ට එන්නට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ නිසා තමයි, මහා සංඝරත්නය ඔබතුමාට කීර්ති නාමයක් ප්‍රදානය කරනු ලැබුවේ. එදා අතීත රජවරු බුදු දහම රැක ගන්න කටයුතු කළා වගේ ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා බුදු දහම ආරක්ෂා කරන්න කටයුතු කළ නිසා රාජවංශ භූෂණ කියලා කිව්වා, ධර්මද්වීපය දෙකඩ වෙන්න නොදී රැකගත් නිසා ධර්මද්වීප චක්‍රවර්ති කියලා ඔබතුමාට කිව්වා. ඒ නාමය සකස් කළේ මම.

නාගදීපය ජාතික සමගිය ගොඩනගන ස්ථානයක් බවට නවදගල අපේ හාමුදුරුවෝ පත් කර තිබෙනවා. උන්වහන්සේට දෙමළ භාෂාව චතුර ලෙස කථා කළ හැකි නිසයි. මේ ප්‍රදේශවලට දෙමළ භාෂාව දන්න භික්ෂූන් වහන්සේලා තව තවත් වැඩම කිරීමෙන් මෙම ප්‍රදේශ වල වඩාත් හොඳින් ජාතික සමගිය ඇති කළ හැකිව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස