දේශපාලනයට පිවිසීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ…! – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

June 5, 2026 at 12:16 pm | by emanisa.lk

තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

“ජාතික වීරයා උතුරු මැද පළාතෙන් මහ ඇමති සටනට!” යනුවෙන් ඔහුගේ රුව සහිතව පළ වූ මෙම ප්‍රචාරක පෝස්ටරය හේතුවෙන් ඔහු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට සූදානම් වන බවට පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් සහ වැරදි මතයක් නිර්මාණය වී තිබුණි.

මෙම ව්‍යාජ ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමට හෝ පක්ෂ දේශපාලන කටයුතුවල නිරත වීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි. ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා දැනට චීනයේ රැඳී සිටින ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙම කරුණු පැහැදිලි කළේය.

සක්‍රීය දේශපාලනය ප්‍රතික්ෂේප කළද, මව්බිම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවශ්‍ය වගකීම් පැවරෙන්නේ නම් ඒ සඳහා කැපවීමට තමන් සැම විටම සූදානම් බව හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. දේශපාලන බලලෝභිත්වයෙන් තොරව, ජාතික ආරක්ෂාව සහ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කළ හැකි සෑම සේවයක්ම ඉටුකිරීම තම මූලික පරමාර්ථය බව ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

එහිදී තමන්ගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ දශක කිහිපයක් තිස්සේ පැවති කුරිරු යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ සහ ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම බව සිහිපත් කළ ඒ මහතා, එම උදාර සේවය තම හදවතට ඉතා සමීප කාර්යයක් වන බව ද පැවසීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අංශ සටන් වැදුණේ කිසිදු ජනවාර්ගික ප්‍රජාවකට එරෙහිව නොව සමස්ත රටම වෙළාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව පමණක් බව නැවත වරක් සිහිපත් කළේය.

එහෙත් අවාසනාවකට මෙන්, ඇතැම් බටහිර රටවල් කිසිදු පැහැදිලි හෝ වාස්තවික සාක්ෂියකින් තොරව ශ්‍රී ලාංකික රණවිරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස කටයුතු කරමින් සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම සත්‍යය තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ ත්‍රස්තවාදය පරාජය කර රටේ භෞමික අඛණ්ඩතාව සහ දෙමළ ජනතාව ඇතුළු සමස්ත වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මිස, සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් නොවන බව ඒ මහතා ස්ථිරවම කියා සිටියේය.

එබැවින් යුද සමයේදී රට වෙනුවෙන් ජීවිතය සහ තරුණ කාලය කැප කළ රණවිරුවන් දෙස ජාත්‍යන්තරය වඩාත් සාධාරණ සහ සමබර දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු කාලය එළඹ ඇති බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *