දැරියගේ මරණයට බදියුදීන් ගෑවිලා නම් දැඩි තීන්දුවක් ගන්නවා…! – අශෝක්…

July 26, 2021 at 1:46 pm | by emanisa.lk

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අභිරහස් ලෙස පිලිස්සී මිය ගිය හිෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ යම් සම්බන්ධයක් පවතින බවට පොලිස් පරීක්ෂණය මඟින් අනාවරණය වුව හොත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඔහුගේ සාමාජිකත්වය පිළිබඳ දැඩි තීරණයක් ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පවසයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සමස්ත මන්ත්‍රි කණ්ඩායම මෙම අවාසනාවන්ත සිදුවීම හෙළා දකින බවත් මෙවැනි සිදුවීම් ශිෂ්ට සම්පන්න සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවත් මන්ත්‍රිවරයා කීවේය.

කෙසේ වෙතත් මෙම කරුණ පුද්ගලික කාරණයක් බැවින් දේශපාලනික කරුණු සහ පෞද්ගලික කරුණු එකට පටලවා ගැනීම නොකළ යුතු බවත් විමර්ශන කටයුතු අපක්ෂපාතීව සිදුවිය යුතු බවත් හෙතෙම කීය.

පොලිස් විමර්ශනයන්ගෙන් අනතුරුව යම් හෙයකින් මෙම සිදුවීමට මන්ත්‍රිවරයාගේ සම්බන්ධ⁣යක් පවතින බවට අනාවරණය වුවහොත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සාකච්ඡා කර මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් හෙතෙම පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *