දරුවන් විරෝධතා පළිහක් කර ගැනීම බරපතළ වරදක්…! තුවක්කුවක් අතට දීලා ප්‍රභාකරන් කළෙත් මේකමයි…! – ජනපති…

October 12, 2022 at 6:42 pm | by emanisa.lk

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙන යාම රටේ නීතිය අනුව ද බරපතළ වරදක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි. මේ දරුවන් රැගෙන යන්නේ ගෙදර තබා යාමට නොහැකි නිසා නොව ප්‍රභාකරන් මෙන් පළිහක් ලෙස දරුවන් අවභාවිත කිරීමට යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව, කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

“ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේ ය,” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උපවගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කර ඇති ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද එහිදී පියවර ගෙන ඇත. ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

නීති විරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේදී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහා ම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙස ද දී ඇත.

ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්ත්ව මග හරවා ගක හැකි බව ද ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *