තෙල් විදුලිය ඩොලර් අඩුවෙන් පාවිච්චි කරන්න කියන්න ආණ්ඩුවක් ඕන ද…?

January 27, 2022 at 9:04 am | by emanisa.lk

රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට ජනතාවට යම් යම් සීමා පැනවීමට ආණ්ඩුවක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

“රටේ දැන් තිබෙන අර්බුදය නිසා කර්මාන්ත පවත්වා ගෙන යන්න, දෛනික කටයුතු පවත්වා ගෙන යන්න, සුදුසු පරිසරයක් නැහැ. ආණ්ඩුව දැන් ජනතාවට කියන්නේ වතුර අඩුවෙන් බොන්න, කෑම අඩුවෙන් කන්න, විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න, තෙල් අඩුවෙන් පාවිච්චි කරන්න, ගෑස් අඩුවෙන් පාවිච්චි කරන්න, බෙහෙත් අඩුවෙන් බොන්න, ඩොලරුත් අඩුවෙන් පාවිච්චි කරන්න කියලයි.

මේවා අඩු කරන්න කියන්න නම් ආණ්ඩුවක් ඕනෑද? ආණ්ඩුව සහන වෙනුවට ජනතාවට අඩුවෙන් පාවිච්චි කරන්න කියනවා. විදුලි අර්බුදය එන විට ජල සැපයුම අඩාල වෙනවා. තෙල් අර්බුදය එන විට දුම්රිය දුවන එක අර්බුදයට යනවා. රටේ බරපතළ අවිනිශ්චිතතාවක් තිබෙන්නේ.

සංචාරක කර්මාන්තය දියුණු කරන්න ආණ්ඩුව කතා කරනවා. නමුත් ලංකාවට එන විදේශිකයන්ට ඔවුන්ගේ රටවලින් අවවාද දී තිබෙනවා ලංකාව කුමන මොහොතක හෝ විදුලිය කැපීම, දුම්රිය නැවැත්වීම, ජල සැපයුම අඩාල වීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙන බව. කැනඩාව උදාහරණයක්.

මේ තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්ද? මේ කියන සැක සහිත තත්ත්වය තුළ විදේශිකයන් ලංකාවට පැමිණීම ගැන නැවත නැවත සිතා බලනවා. තමන් ඉන්න හෝටලයේ කොයි මොහොතේ ලයිට්, වතුර කැපෙයිද, ගෑස් එක පුපුරයිද කියන අවිනිශ්චිතතාව ඔවුන්ට තිබෙනවා.”

විජිත හේරත් මේ බව සඳහන් කළේ ඊයේ (26) ජවිපෙ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *