අනිද්දා (10) වන විට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නැති කර ජනතාවට සුපුරුදු පරිදි ඉන්ධන ගැනීමේ අවස්ථාව ලබා දෙන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
තෙල් පෝලිම් හා විදුලිය විසන්ධිවීම් නැතිව මින් ඉදිරියට කටයුතු කළ හැකි බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මෙසේ පැවසුවේ ඊයේ (7) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 28,300ක නැවක් පැමිණ ඇති බවත් ඊයේ (7) වන විට ඉන්ධන ගොඩ බෑම ආරම්භ කරන බවත් පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ සියලු නිලධාරීන් සති අන්තයේ මුළු කාලයම වැය කර රට පුරා ඉන්ධන බෙදා හැරීමට කටයුතු කළ බැවින් මේ වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පෝලිම් දක්නට නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ කීවේය.
මේ වන විට විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බැවින් කපා හැරීමකින් තොරව විදුලිය දීමට හැකි වී ඇති බව ඇමැතිවරයා අවධාරණය කළේය.